.webp)
ශ්‍රී දළඳා මාළිඟයේදී දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇති.
දළදා මාලිගාවේ පිරිත් මණ්ඩපයේ විශේෂ පීඨීකාවක් මත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශන කරඬුව තුළ තැනපත් කර ඇත්තේ වන්දනාව වෙනුවෙන් ය.
සුදු වතින් සැරසි, සැදැහැ සිතින් දළදා සමිඳුන් වැදපුදා ගැනීමට පැමිණෙන්නැයි මහනායක හිමිවරුන් බැතිමතුන්ට දැනුම් දෙයි.
මෙවර දළදා දැක්ම පැවැත්වෙන්නේ වසර 16 කට පසුවයි.
ලබන 27 දක්වා සෑම දිනකම මධ්‍යාහ්න 12 සිට පස්වරු 5:30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාවව අවස්ථාව සැළසෙයි.
මේ අතර “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වාහන කළමණාකරණ සහ තොරතුරු පද්ධතියක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙඩි අඩවියේ “සිරි දළඳා වන්දනාව " නමින් සඳහන් වන daladadekma.police.lk වෙත පිවිසීමෙන් දළදා වන්දනාව පිළිබද සියලු තොරතුරු හා උපදෙස් ලබාගත හැකියි.
සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව මහනුවර නගරයට පැමිණෙන සියලු රථවාහන සීමා කෙරේ.
පොදු සහ පෞද්ගලික වාහන වලින් පැමිණෙන සැදැහැවතුන් සඳහා මහනුවර දළදා මාලිගාව තෙක් ස්ථාන 7 ක සිට විශේෂ බස් සේවාවක් ආම්භ කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ය.
මේ අතර කඩුගන්නාව කටුගස්තොට හා ගම්පොල ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ දුම්රිය ගමන්වාර ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ එලෙස මහනුවර නගරය දක්වා සැදැවතුන් ප්‍රවාහනය කිරීමට විශේෂ දුම්රිය දෙකක් ද ධාවනයට එක් කරන බවයි.
මේ අතර සැදැවතුන්ගේ වාහන ගාල්කිරීම සඳහා ස්ථාන 6 ක් හඳුන්වා දී ඇතැයි පොලිිසිය පවසයි.
ඒ අනුව ගැටඹේ ක්‍රීඩාංගනය, ගන්නෝරුව මාර්ගය, කටුගස්තොට 4 කණුව, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමිය, රා කඩේ හන්දිය ධර්මාශෝක මාවත හා පී.ටී රාජන් ක්‍රීඩාංගනයේ වාහන ගාල් කිරීමට පහසුකම් සපයා තිබේ.
ඊට අමතරව පල්ලෙකැලේ බණ්ඩාරනායක විද්‍යාලය ක්‍රීඩාගංනයේ හා ගුරුදෙණිය ප්‍රදේශයේ ද, සැදැවතුන් පැමිණෙන වාහන නවතා තැබීමට පහසුකම් සලසා ඇතැයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳන් කළේ ය.
මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ.
සිරි දළදා වන්දනාවට පැමිණෙ බැතිමතුන් වෙනුවෙන් ප්‍රධාන මාර්ග 3ක් වෙන් කොට තිබෙනවා.
පළමු ප්‍රවේශ මාර්ගය වන්නේ ඩී.එස්.සේනානායක වීදිය දෙස සිට දළඳා මාලිගයේ මහමළුව තෙක් ස්ථාපනය කර ඇති මාර්ගයයි.
දෙවැනි ප්‍රවේශ මාර්ගය ස්ථාපනය කර ඇත්තේ, රතු බෝක්කුව දෙස සිට වැව රවුමේ සංඝරාජ මාවත හරහා ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වායි.
තුන් වැනි ප්‍රවේශ මාර්ගය, රතුබෝක්කුව දෙස සිට වැව රවුමේ මාලිගාව පෙදෙසින් ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර තිබේ.
සිරි දළඳා වන්දනාව වෙනුවෙන් මේ වන විට දිවයිනේ නන් දෙසින් ජනතාව මහනුවරට පැමිණෙමින් සිටියි.