මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

by Staff writer 18-04-2025 | 6:48 AM

COLOMBO (News1st) - සිරි දළදා වන්දනාව හේතුවෙන් මේ වන විට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මහනුවර නගරයට පැමිණෙන සියලු රථවාහන සීමා වී ඇත.

පොදු වාහන වලින් සහ පෞද්ගලික වාහන වලින් පැමිණෙන සැදැහැවතුන් මහනුවර දළදා මාලිගාව තෙක් ප්‍රවාහනය සදහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ බස් සේවාවක් ආම්භ කර තිබේ.

මහනුවර ස්ථාන 7ක සිට එම බස් සේවා ක්‍රියාත්මකයි.

මේ අතර පෞද්ගලික වාහන නතර කරන ස්ථානවල සිට මහනුවර නගරය දක්වා සැදැවතුන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය දෙකක් ද ධාවනයට එක් කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන් ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, කඩුගන්නාව කටුගස්තොට හා ගම්පොල ප්‍රදේශ ආවරණය වන පරිදි එම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බවයි.

දළදා වන්දනාවට පැමිණෙන සැදැවතුන්ගේ වාහන නැවැත්වීම සඳහා  ස්ථාන 6ක රථ ගාල් හඳුන්වා දී ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව ගැටඹේ ක්‍රීඩාංගනය, ගන්නෝරුව මාර්ගය, කටුගස්තොට 4 කණුව, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමිය, රා කඩේ හන්දිය ධර්මාශෝක මාවත හා P.T රාජන් ක්‍රීඩාංගනයේ වාහන නවතා තැබීමට පහසුකම් සපයනු ඇති.

ඊට අමතරව පල්ලෙකැලේ බණ්ඩාරනායක විද්‍යාලය ක්‍රීඩාගංනයේ හා ගුරුදෙණිය ප්‍රදේශයේ ද, සැදැවතුන් පැමිණෙන වාහන නවතා තැබීමට පහසුකම් සලසා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.