ඩිජිටල්කරණය වෙන සෞඛ්‍ය සේවය...

සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට පුළුල් සැලැස්මක්

by Staff writer 07-04-2025 | 6:13 PM

COLOMBO (News 1st) - සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට පුළුල් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර තිබේ.

අමාත්‍යවරයා මේ බව පවසා තිබෙන්නේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටල්කරණය සහ ඒ සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැවැති සාච්ඡාවකදී යි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ඩිජිටල්කරණය ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලෙස හඳුනා ගනිමින්, ඩිජිටල්කරණ විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික රාමුවක් ස්ථාපිත කිරීම, ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ඒ සඳහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති (HIQI, HSEP, PHSEP) ක්‍රියාත්මක කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

ඩිජිටල්කරණයේදී මුහුණදීමට සිදුවන අභියෝග, දත්ත ආරක්ෂාව, පද්ධතිවල අන්තර් ක්‍රියාකාරීත්වය, ධාරිතා වර්ධනය සහ ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් පුළුල් ජාතික ඩිජිටල් උපායමාර්ගයට ඒකාබද්ධ කිරීම ප්‍රධාන මාතෘකා මූලික කරගනිමින් මෙහිදී සාකච්ඡා සිදුව ඇත.

සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා සහයෝගී අවස්ථා ගවේෂණය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන් මෙම ඉහළ මට්ටමේ රැස්වීමට එක්ව තිබේ.