පාර්ලිමේන්තුවෙන් මැ. කොමිසමට දැනුම්දීමක්

කෝසල ජයවීරගේ අභාවය: පුරප්පාඩු මන්ත්‍රී ධුරය ගැන පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිසමට දන්වයි

by Staff writer 07-04-2025 | 6:10 PM

COLOMBO (News 1st) - කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබේ.

ජාතික ජනබලවේගය නියෝජනය කළ, කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06  වැනි දින සිට 10වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන  මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබේ.

1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව  මෙම දැනුම් දීම සිදුකර ඇත.

හදිස්සියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කෝසල නුවන් ජයවීර මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 38කි.