ප්‍රකාශයක් ලබාදීමට යෝෂිත පොලීසියට

Night Club ගැටුම ගැන ප්‍රකාශයක් ලබාදීමට යෝෂිත රාජපක්ෂ කොම්පඤ්ඤ වීදිය පොලීසියට

by Staff writer 25-03-2025 | 12:53 PM

COLOMBO (News 1st) - රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට යෝෂිත රාජපක්ෂ මහතා කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණ තිබේ.

ඒ, අද(25) දිනයේ කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණෙන්නැයි කළ දැනුම් දීමක් මතයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ, පසුගියදා යූනියන් පෙදෙස, පාක් වීදියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබුණේ තවත් කිහිපදෙනෙකු ද සමගයි.

නයිට් ක්ලබ් තුළට ඇතුළු වීමේදී හඳුනාගැනීමේ අත්පළඳනාව පැළඳීම, රාජපක්ෂ යුවළ ප්‍රතික්ෂේප කළ බව කියන සිදුවීමත් සමග, ඔවුන් සමග සිටි පිරිස එහි ආරක්ෂක නිලධාරියාට පහරදී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

සැකකරුවන්, දෙහිවල, අත්තිඩිය සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වනවිට එම ප්‍රදේශවලින් පළා ගොස් තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් අනුයුක්ත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව ද පොලීසිය සඳහන් කළේ ය.