.webp)
COLOMBO (News 1st) - මාතර, දෙවිනුවරදි වෙඩි තබා තරුණයින් දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
34 හැවිරිදි දෙවිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතර අපරාධ කොට්ඨාස විමර්ශන කාර්යාංශය ගන්දර ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීයි.
අපරාධය සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කරන වෑන් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 21 වැනි දා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
වෙඩි වැදිමෙන් මිය ගියේ , අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.
ගිනි තැබු වෑන් රථය වැල්ලමඩම හන්දියේ දමා ගොස් තිබියදි පසුගිය 22 වැනි දා සොයා ගනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවක් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි රාජ්‍යට පළා ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙහිබාලේ හෙවත් රංග නැමැත්තා විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරයි.