එක්ස්ප්‍රස් පර්ල් ගින්නට හේතුව අම්ල කාන්දුවක්

එක්ස්ප්‍රස් පර්ල් ගින්නට හේතුව නයිට්‍රික් අම්ල කාන්දුවක් - නීතිපති අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 25-03-2025 | 5:19 PM

COLOMBO (News 1st) - ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව, විමර්ශනවලදී හෙළිව ඇතැයි, නීතිපතිවරයා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේ ය.

පංච පුද්ගල විනිසුරු මඬුල්ලට ඒ බව දැනුම් දුන්නේ, නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා විසිනි.

නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද යළි කැඳ වූ අවස්ථාවේ දී ඒ බව දැනුම් දී ඇත.

මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත්තේ, නෞකාව ගිනි ගැනීමෙන් ධීවරයින්ට සහ පරිසරයට සිදු වූ  හානියට වන්දි ඉල්ලමිනි.

පෙත්සම් අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණි.

ඒ අනුව එම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට සම්පුර්ණයෙන්ම වගකිය යුත්තේ එහි කාර්ය මණ්ඩලය සහ නෞකාව පාලනය කළ සමාගම බව ද, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කර තිබේ.

ඔහු පැවසුවේ කන්ටේනර් දෙකකින් ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වන බව දැනගෙන දින 09ක කාලයක් ගතවී තිබුණත්, බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව විමර්ශනවලදී හෙළි වූ බවයි.

එම ව්‍යවසනයට මෙරට රජය කිසිදු ආකාරයක වගකීමක් දැරීමේ අවශ්‍යතාවයන් නැති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඩුල්ල ඉදිරියේ අනාවරණය කළේ ය.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පරිසර ඇමතිවරයා, ධීවර ඇමතිවරයා, වරාය ඇමතිවරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී. කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 12 දෙනෙකු නම් කර තිබේ.