ලෝක ජල දිනය අදයි..

ලෝක ජල දිනය අදයි..

by Staff writer 22-03-2025 | 8:08 AM

COLOMBO (News 1st) –ලෝක ජල දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ග්ලැසියර සුරකිමු යන්නයි.

1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනුවයි.

පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමකි.

එහෙත්, මේ වනවිට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ නැහැ.

පුද්ගලයින් මිලියන 2.3 කට සිය නිවසේදී සබන් ගා අත්සේදීමට වරම් නොමැති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

නාගරික හා කාර්මික අපද්‍රව්‍ය මුසු කිරීම ඇතුළු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජලය දූෂණය වීම ඉහළ ගොස් ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලින් ය.

ගංඟා, වැව් ඇතුළු අනෙකුත් ජල මූලාශ්‍ර අසල්වැසි රටවල් සමඟ බෙදාගන්නා රටවල් සංඛ්‍යාව, 153 කි.

ලෝක ජනගහනයෙන් අඩක් පමණ අවම වශයෙන් වසරකට වරක්වත් බරපතල ජල හිඟයකට මුහුණ දෙන බව, පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ලෝක බැංකුවේ පුරෝකතන වලට අනුව ලෝකය, 2030 වන විට ඉල්ලුම සහ පවතින ජල සංචිත අතර පරතරයකට මුහුණදෙනු ඇති.

මෙරට ජනගහනයෙන් ද, පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවන්නේ, 62% කට පමණයි.

අවිධිමත් සංවර්ධනය හා වනහායනය හේතුවෙන් ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයකට ලක්වීම, ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රබල අභියෝගයකි.