මේ වසරේ පාසල් නිල ඇඳුම් රෙදි ලබාදී අවසන්

මේ වසරේ පාසල් නිල ඇඳුම් රෙදි සිසුන් වෙත ලබාදී අවසන් - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 22-03-2025 | 10:12 AM

COLOMBO (News 1st) –මේ වසරේ පාසල් නිල ඇඳුම් රෙදි සිසුන් වෙත ලබාදී අවසන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ නිළ ඇඳුම් රෙදි‍ෙඅවශ්‍යතාවයෙන් 100%ක් එනම් රුපියල් මිලියන 5,171කට ආසන්න මූල්‍ය වටිනාකමකින් යුතු පාසල් නිල ඇඳුම් රෙදි මීටර් මිලියන 12 ක් මෙරටට ප්‍රදානය කර ඇත්තේ, චීන රජය විසින් ය.

රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දීම සිදු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

නිල ඇඳුම් රෙදි ලබාදුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086කි.

රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුනට නොමිලේ පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීම 1992 වසරේ සිට අඛණ්ඩව සිදු කෙරෙයි.

2015 වසරේ සිට 2020 වර්ෂය දක්වා නිල ඇඳුම් රෙදි වෙනුවෙන් ලබා දෙනු ලැබුවේ වවුචර් පත් ය.

2023 වර්ෂයේ නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 70%ක ප්‍රමාණයක්ද 2024 වර්ෂයේ අවශ්‍යතාවයෙන් 80%ක ප්‍රමාණයක්ද මහජන චීන සමූහාණ්ඩුවෙන් ප්‍රදානයක් වශයෙන් ලැබි තිබුණි.