නෙවිල් ද සිල්වා ගොනු කළ රීට් පෙත්සම යළි කැඳවයි

CCD හිටපු ස්ථානාධිපති නෙවිල් ද සිල්වා ඇතුළු 6දෙනා ගොනු කළ රීට් පෙත්සම නැවත කැඳවයි... පෙත්සම කරුණු තහවුරු කිරීමට දින නියම කෙරේ

by Staff writer 21-03-2025 | 9:28 PM

COLOMBO (News 1st) - තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා ඇතුළු 6 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම අද නැවත කැඳවනු ලැබීය.

අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ පෙත්සම කැඳවූ අවස්ථාවේ නීතීපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය පැවසූවේ, පෙර නඩු වාරයේදී පෙත්සම්කරුවන් අත්අඩංගුවට නොගන්නා බවට පැමිණි එකඟතාවය ඉදිරියට පවත්වාගෙන යෑමට විරුද්ධ වන බවයි.

සැකකරුවන් මේ වනවිට මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෝසමක් ගොනු කරමින් භාර වී ඇති නිසා මෙම පෙත්සම පවරා පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නැති බවද ඇය අවධාරණය කළා ය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පැවසූවේ, පෙත්සම්කාර කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා තවමත් මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර නැති බැවින් ඔහු සම්බන්ධයෙන් මීට පෙර දෙපාර්ශ්වය පැමිණි එකඟතාවය ඉදිරියට පවරා පවත්වාගෙන යන ලෙසයි.

එමෙන්ම පෙත්සම පවරා පවත්වාගෙන යෑම ගැටලුවක් නොමැති බව අවධාරණය කළ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් තුළ කැඳවන ලෙසයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය නෙවිල් ද සිල්වා මහතා සම්බන්ධයෙන් පමණක් අධිකරණය ඉදිරියේ මීට පෙර පැමිණි එකඟතාවය අනුව ඉදිරි නඩු දිනය දක්වා පමණක් කටයුතු කිරීමට එකඟතාව පළ කළා ය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම්කාර නෙවිල් සිල්වා මහතා හැර සෙසු නිලධාරීන් සම්බන්ධව පැවති එකඟතාව තව දුරටත් දීර්ඝ නොකිරීමට තීන්දු කරමින් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු 26 කැඳවීමට දින නියම කර තිබේ.