සෑම නිවසකටම පවුලේ වෛද්‍යවරයෙක්...

සෑම නිවසකටම පවුලේ වෛද්‍යවරයෙක්...

by Staff writer 21-03-2025 | 6:36 AM

COLOMBO (News 1st) –පවුලේ වෛද්‍යවරයා සංකල්පය මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙහි අරමුණ බවයි.

මේ යටතේ ග්‍රාම නිලධාරී වසම් 3කට එක් වෛද්‍යවරයෙකු බැගින් අනියුක්ත කෙරෙන අතර ඒ සඳහා වෙනම මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කෙරෙනු ඇති.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පළමු අදියර ගාල්ල හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කළේ ය.