.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේත්, ඉන්දියාවේ සහ පකිස්ථානයේත් අමෙරිකානු CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ්. කෙනඩි මහතාගේ ඝාතනය සම්බන්ධ තොරතුරු සහිත රහසිගත ලිපිගොනු රැසක් පසුගියදා ප්‍රසිද්ධ කෙරිණි.
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නියෝගයක් අනුවයි.
රුසියානු RT රූපවාහිනිය මෙම ලිපිගොනුවල සඳහන් කරුණු උපුටා දක්වමින් X පණිවුඩයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් කර ඇත්තේ, අමෙරිකාව විසින් ලෝකයේ ඇතැම් රටවල්වල රහසිගත CIA කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවයි.
එය උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසන්නේ, අමෙරිකාව රටවල් රැසක් තුළ CIA සීක්‍රට් බේස් හෙවත් බ්ලැක් සයිට්ස් පවත්වාගෙන ගොස් ඇති බවයි.
අදාළ ලිපිගොනුවලට අනුව ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේත් ඉන්දියාවේ නවදිල්ලි සහ කොල්කටා නගරවලත් පකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරයේත් ජපානයේ ටෝකියෝ නගරයේත් මෙලෙස CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගිය බව සඳහන්ය.
කෙනඩි ඝාතනය පිළිබඳ විමර්ශන කොමිසම හමුවට ඉදිරිපත් කෙරුණු ලේඛන තුළ මෙම කරුණු අන්තර්ගත බව සඳහන් වේ.