.webp)
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඇප ඉල්ලා සිටි නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊට දැඩි විරෝධය පල කළා.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ මොහු මාකඳුරේ මධූෂ්ට සහ හරක් කටාටත් දෙවැනි නොවන සංවිධානාත්මක අපරාධකරුවෙකු බවයි.
දුටු තැන අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග ලැබ සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන 7 යි 30 ට පමණ නීතිඥවරුන් පිරිසක්ද සමග මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මෝසමක් ඉදිරිපත් කරමින් භාරවී තිබිණි.
නිව්ස් ෆස්ට් අධිකරණ වාර්තාකරු පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා ඇතුලු නීතිඥවරුන් 15 දෙනෙකු පමණ අධිකරණය හමුවේ පෙනී සිටි බවයි.
තෙන්නකෝන් මහතා පෙරවරුවේ අධිකරණයට භාරවුවත් මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඉදිරියේ මෝසම සලකා බැලීම දහවල් 12 යි 40 ට පමණ ආරම්භ විය.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද ඒ වනවිට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ කරුණු දැක්වීමට පියවර ගත්තේ ය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ඇප ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙන්වා දුන්නේ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි නෛතික සහනය ප්‍රතික්ෂේපවූ වහාම තම සේවාදායකයා අධිකරණයට ගරුකරමින් භාරවූ බවයි.
ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාගේ ප්‍රකාශය
උපුටා ගැනීම
'' ඇප ප්‍රතික්ෂේප කරනවා නම් ඇප පනතේ හේතු දෙකක් පමණයි තියෙන්නේ.ඒ විමර්ශන මගහැර සිටීම හා සක්ෂිකරුවන්ට බලපෑම් කිරීම. ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවූවත් මොහු පොලිස්පති ධුරයේ කටයුතු කරන විට යුක්තිය මෙහෙයුම නමින් යුද ප්‍රකාශයක් කළා. ඒ තුළින් අපරාධකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. යම් හෙයකින් මොහු බන්ධනාගාරගත වුවහොත් මොහුට නිසි ආරක්ෂාවක් බන්ධනාගාරය තුළ ලැබිය යුතුයි. කෙසේ වෙතත් ස්වාමීනී මම ඉල්ලා සිටින්නේ මොහුව සුදුසු කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙසයි''
නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කරමින් ඇප ලබාදීමට විරුධත්වය ප්‍රකාශ කළේ ය.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ ප්‍රකාශය
උපුටා ගැනීම
''ස්වාමීනි අද උදෑසන මට දැන ගන්න ලැබුණා විවෘත වරෙන්තුවක් නිකුත් වූ සැකකරුවෙක් ටයි කෝට් ඇඳගෙන බෙන්ස් වර්ගයේ මෝටර් රථයකින් හා තව රථ දෙකකින් ඇවිල්ල අධිකරණයේ වාඩි වෙලා ඉන්නවා කියලා. ඒ නිසයි නීතිපතිවරයා වෙනුවෙන් මම ඇවිල්ලා පෙනී ඉන්නේ. හිතුව ද දන්නේ නෑ, අපිට මෝසම පිළිබඳව දැනුම් දීමක්වත් කරන්නේ නැතුව හොර පූසා වගේ උසාවියට ඇවිල්ලා පාලු ගෙයි වළං බිඳලා ඇප අරගෙන යන්න.මම මෙතන්ට එද්දිත් මොහු ටයි කෝට් ඇඳගෙන මේ ඉස්සරහ බංකුවේ වාඩි වෙලා ඉන්නවා. මම අහන්න කැමතියි ස්වාමීනි, විවෘත වරෙන්තුකරුවෙක් කූඩුවේ නොසිට මේ බංකුවේ මෙහෙම ඉඳගෙන ඉන්නේ කොහොමද? විවෘත වරෙන්තුකරුවෙක් ඉන්න ඕන බංකුවේ නෙමේ කූඩුවේ.අපරාධකරුවෙක් සිංහලීලාවෙන් ඇවිල්ලා මෙහෙම වාඩි වෙලා ඉන්න බෑ.අපරාධකරුවෙක් අධිකරණයට එන්න ඕනේ නීතියට බයේ බිම බඩගාගෙන. මම අභියාචනාධිකරණයේදී කිව්වා මේ සැකකරු පොලිස්පති තනතුරට තියා පොලිස් කොස්තාපල් තනතුරකටවත් සුදුසු නෑ කියලා. ඒකට මම සියලු පොලිස් කොස්තාපල්වරුන්ගෙන් මේ අවස්ථාවේ සමාව ඉල්ලනවා.ස්වාමීනී ඇත්තටම මොහු පොලිස් කොස්තාපල් තනතුරටවත් සුදුසු නෑ. ෆෝන් ඕෆ් කරන් යටිකූට්ටු ගේම්, උප්පරවැට්ටි කරමින් අංචි අදිමින් දින විස්සක් අධිකරණය මගහැර සැඟවිලා සිටි අපරාධකාරයෙක් මොහු. මොහු සුපිරි ගණයේ රංගන ශිල්පියක්. ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකන් වන මාකඳුරේ මදූෂ්, හරක් කටාටත් දෙවැනි නොවන සංවිධානාත්මක අපරාධකරුවෙක්. මොහු ලැජ්ජා නැතුව ඔබතුමන්ගේ අධිකරණය ඉදිරියට ආවේ නහය ළඟටම වතුර පිරුණට පස්සේ. මොහු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස නම් කරලා තිබ්බේ ඔබතුමාව. එහි සඳහන් කරලා තිබ්බා ඔබතුමා අධිකරණයේ දොරගුලු වහලා කුමන්ත්‍රණය කළා කියලා.අපි මෙහෙම තත්ත්වයකට වැටිලා නෑ. මොහු පොලිස්පති ලෙස සිටියදී කිව්වා නීතිඥවරුන් තමයි අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ කියලා. එහෙම කියපු මොහු අද නීතිඥවරුන් වටකරගෙන අධිකරණයට ඇවිත්. මේක ස්වාමීනී. W-15 හෝටලයට වෙඩි තැබීම පිළිබඳ නඩුවක් නෙමේ. මේක කර්මය පඩිසන් දීමක්. මොහුට දිට්ඨධම්මවේදනීය කර්මය මොකක්ද කියලා පැහැදිලි කරන්න ඕනී නැ. මොහුගේ ඇස්පනාපිටම ඒක දැන් වෙලා. මේ මොහුගේ කර්මයයි මේ ආත්මේදිම පල දීලා තියෙන්නේ''
උපුටා ගැනීම අවසන්
මෙහිදී දේශබන්දු තෙන්නකොන් මහතාට අයත් දේපළ සහ ඒ සම්බන්ධව සිදුකළ විමර්ශන පිළිබඳවද දිලීප පීරිස් මහතා කරුණු දැක්විය.
උපුටා ගැනීම
''ස්වාමීනි ඔබතුමන්ගේ අධිකරණයෙන් ඉකුත් පෙබරවාරි 27 වැනිදා නියෝග නිකුත් කළ දා පටන් ප්‍රභාකරන් හොයනවා වගේ මහා සේනාවක් මොහුව සොයා මෙහෙයුම් කළා. ඊයේ වෙනකන්ම සමාජ බලය, දේශපාලන බලය සහ ආගමික බලය උපයෝගී කරගෙන මොහුත් බිරිඳත් දරුවත් හිටියේ හැංගිලා. මොහු නීත්‍යානුකූල පදිංචි ලිපිනය දාලා තිබ්බ ලිපිනයේ පදිංචිව ඉන්නේ හාමුදුරුනමක්. පසුගිය දින පුරා නිලමේවරුන්ගෙන් දේශපාලනඥයින්ගෙන් ප්‍රශ්න කළා.ගෙවල් චෙක් කළා.මෙයා මේ ඤරු ඤුරු ගෑවට මෙයා ඩීල් ගහලා තියෙන්නේ එයාලා එක්ක. ඊයේ මොහුගේ ගේ පරීක්ෂා කිරීමේදී නිවසේ මත්පැන් බෝතල් 795ක් තිබ්බා. කෝටියක් වටින බෝතල්. රජයේ සේවකයන්ට තුඩුපඬුරු ගන්න බෑ. හැබැයි හැම්පර් විතරක් එකසිය ගාණක් තිබ්බා. මොහුගේ ගෙදර ගෙයක් නෙමේ, ස්කාගාරයක් වගේ. රක්ෂිත බන්ධනාගාර ගත කරන්න එපා ජීවිත තර්ජන තියෙනවා කියන මොහු, දින විස්සක් සැඟවිලා ඉඳලා තියෙන්නේ තමන්ගේ රාජකාරි ගිනි අවියත් ගෙදර ඇඳුම් වැටේ රෙදි අස්සේ හංගලා. මොහුගේ නමින් කිසිදු ලියාපදිංචි දේපළක් නෑ. අඩුම පුෂ් සයිකලයත්වත් නෑ. නමුත් නිල නොවන මට්ට්මින් ගෙවල් අටක් තියෙනවා කියලා දැනට අනාවරණය වෙලා තියෙනවා. අපි ඒ එක් නිවසක් පරීක්ෂාවට ගියා. එතන සේවයට ඉන්න මිනිස්සු දන්නෙත් නෑ ඒ ගෙදර කාගෙද කියලා. ඒ මිනිස්සු හිතන් ඉන්නවලු ඒ ගෙදර දේශබන්දුගේ ගෙදරක් කියලා. ඒකයි මම කිව්වේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ටත් මෙහෙම සූක්ෂ්මව වැඩ කරන්න බෑ. අපි තවත් දෙයක් සොයා ගත්තා ස්වාමීනි. මොහු ඇතුළු පවුලේ කිසිවෙක් 2021 වසරේ ඉඳලා ඡන්ද හිමි නාමලේඛනයේවත් නම් ඇතුළත් කරලා නෑ. මොහු ඇත්තටම අද්භූත බලවේගයක්.හොල්මනක්''
උපුටා ගැනීම අවසන්
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දෙනවාද නැද්ද, යන නියෝගය හෙට (20) පස්වරු 2 ට ලබා දීමට තීන්දු කළේ ය.
අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගියේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.
නීතිඥ අනුත්තරා සමන්රාජ
''හෙට දින සවස 2 ට ගරු මහේත්‍රාත්තුමා විසින් කරුණු දැක්වීමක් කරනවා.අපි බලමු හෙට නියෝගය සෑහෙන්න නීතීඥවරු පිරිසක් එතුමන් වෙනුවෙන් සහ දෙපාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමක් කළා නීතිඥවරු''
2023 දෙසැම්බර් 31 වැනිදා කොළඹින් ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මාතර පැලෑනේ පිහිටි ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තබා තිබූ අතර අනතුරුව වැලිගම පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ පිරිසක් එම කණ්ඩායමට වෙඩි තබා තිබිණි.
සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියගොස් තවත් නිලධාරියෙකු තුවාල ලැබූ අතර එම පිරිස දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අවශ්‍යතාව මත අදාළ හෝටලයට වෙඩි ප්‍රහාර එල්ලකර ඇතැයි විමර්ශන වාර්තාවලින් අනාවරණය කර තිබිණි.