වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු රඳවා තබා ප්‍රශ්න කෙරේ

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු පැය 48ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

by Staff writer 13-03-2025 | 5:38 PM

COLOMBO (News 1st) - අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කළ බව කියන ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(13) අවසර දී තිබේ.

සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බව කියන ඔහුගේ සහෝදරිය සහ ස්වාමි පුරුෂයා ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද (13) පස්වරුවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසුරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක් සිය නිල නිවාසය තුළදී අපයෝජනය කළ බව කියන සැකකරු 34 හැවිරිදි  හමුදාවෙන් පළා ගිය අයෙකි.

ඔහු කලක් චීවරධාරියෙකු ලෙස ද කටයුතු කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව සිදු කළ සංඛේත වැඩවර්ජනය අද පෙරවරු 8 අවසන් විය.

එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ආරක්ෂාව සම්බන්ධයෙන් වන සිය ඉල්ලීම්වලට නිසි විසදුම් ලැබීම හේතුවෙන් වර්ජනය අවසන් කළ බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ අනුරාධපුර ශාඛාවේ සමාජිකයින් සහ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද උතුරු මැද පළාත් අමාත්‍යාංශයේදී පැවැත්විය.