හිටපු ජනපති මෛත්‍රීට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසි

by Staff writer 11-03-2025 | 1:41 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 29 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නොතිසි නිකුත් කර තිබේ.

ඒ, රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රාමන්ත ජයමහට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව, රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම ගැන හේතු දක්වන්නැයි දැනුම් දෙමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ජුනි 6 වැනි දා කාන්තා හා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගත්තේ ය.

අනතුරුව නියෝගයක් නිකුත් කළේ, රෝයල් පාක් ඝාතනයේ විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාව දුන් ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කර එම සමාව බල රහිත කරන බවටයි.

නඩුවේ තීන්දුව දුන් විනිසුරු මඩුල්ල විත්තිකරුට ජනාධිපති සමාව ලබා දීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව නිගමනය කළේ ය.

එවක ජනාධිපතිවරයා වූ  මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම කෙරුණේ රුපියල් මිලියනයක වන්දියක් මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙසයි.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෛත්‍රිපාල සිරසේන මහතා විසින් වන්දි මුදල මේ දක්වා ගෙවා නොමැති බව කියා සිටියේ ය.

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත්, ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙසත් දන්වා මෛත්‍රිපාල සිරිසේන මහතාට නොතිසි නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල නියෝග කළේ ය.

රාජගිරිය රෝයල් පාර්ක්  සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ ජූනි 30 වැනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු  ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නමැත්තාට අභියාචනාධිකරණය මරණීය දණ්ඩනය නියම කළේ 2012 වසරේදීයි.

අනතුරුව 2019 වසරේදී විත්තිකරුට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබා දුන් අතර ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ජුනි 6 වැනිදා එය බල රහිත කළේ ය.