සංගක්කාරගෙන් වේගවත් ශතකයක්

සංගක්කාරගේ සුපිරි ශතකයෙන් ශ්‍රී ලංකාව Semi Final යයි

by Staff writer 11-03-2025 | 8:17 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ.

ඒ, එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9කින් ජය ගනිමිනි.

මෙම තරගය ඉන්දියාවේ රායිපූර්හිදි පැවැත් විය.

එහි කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 37කදී බිඳ වැටුණි.

නායක ඔයින් මෝගන් ලකුණු 10යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆිල් මස්ටඩ් අර්ධ ශතකයක් රැස් කළේ ය.

ටිම් බ්‍රෙස්නන් නොදැවී ලකුණු 18යි.

එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 146කි.

ශ්‍රී ලංකා මාස්ටර්ස් පිළිතුරු ඉනිම ආරම්භ කළේ, නායක කුමාර් සංගක්කාර් සමගින් රොමේෂ් කලුවිතාරණයි.

ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පළමු කඩුල්ලට ලකුණු 108ක සබඳතාවයක් එක්කරමිනි.

රොමේෂ් කලුවිතාරණ ලකුණු 16යි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර් පන්දු 47කින් නොදැවී ලකුණු 106ක් රැස් කළේ ය.

ඔහුගේ ඉනිම වර්ණවත් වුණේ, 6 පහරකින් සහ හතරේ පහර 19කිනි.

අසේල ගුණරත්න නොදැවී ලකුණු 22යි.

ඒ අනුව ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 5ක් තුළ කඩුල්ලක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.