ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව විශ්⁣ලේෂණයකින් නම් කෙරේ..

by Staff writer 11-03-2025 | 10:37 PM

COLOMBO (News 1st) - ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව මෙම නම් කිරීම සිදුකර තිබෙන්නේ 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගිනි.

ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්‍රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් සිදුකර තිබේ.

ලෝක ජනගහණයෙන්  99.7%  ආවරණය වන පරිදි රටවල් 163ක් සඳහා ත්‍රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින් ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ප්‍රකාශයට පත්කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ලෝකයේ වැඩිම ත්‍රස්තවාදී අවදානමක් ඇති රට ලෙස බර්කිනාෆාසෝ අදාළ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ පකිස්තානයයි.

ත්‍රස්තවාදී අවදානම වැඩිම රටවල් අතර තෙවන ස්ථානයට සිරිවයාව පත්වී තිබේ.

2023 වර්ෂයේ මෙම දර්ශකයේ 36වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ස්ථාන 64ක් පහතට ගමන් කර ඇති අතර දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුවීම අතින් වඩාත් දියුණුම රට ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ.