ජනාධිපතිතුමනි, ඔබ නිර්භීතයි.. - IMF ප්‍රධානී

ජනාධිපතිතුමනි, ඔබ නිර්භීතයි.. කැපවීමේ ශක්තියේ ප්‍රතිඵල තමයි මේ -IMF ප්‍රධානී ජනපති හමුවේ කියයි-

by Staff writer 09-03-2025 | 9:25 PM

COLOMBO (News 1st) -

ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කැපවීම  මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා තහවුරු කළේ ය.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය අතර පැවති මාර්ගගත හමුවේදී ය.


ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා - කළමනාකාර අධ්‍යක්ෂ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

'' බැඳුම්කරවලට අදාළව ඔබ කාර්යක්ෂමව වැඩ කරලා තියෙනවා. ඇත්තෙන්ම ඒක අනභිබවනිය ජයග්‍රහණයක්. මම මුලින්ම කියන්නේ ජනාධිපතිතුමනි ඔබ නිර්භීතයි. ඔබේ ජයග්‍රහණයන්ට මම සුභ පතනවා. මම දන්නවා ඒක ලේසි නැහැ. පහසු නැහැ. නමුත් කැපවීමේ ශක්තියේ ප්‍රතිඵල තමයි මේ. මම ඔබේ අවදානය යොමු කරන්න කැමතියි ගෝලීය වශයෙන් ගත්තම අපි ඉන්නේ පහසු තැනක නෙවෙයි. ඒ අතින් ගත්තම ආර්ථිකයක් ශක්තිමත් කිරිම සඳහා දේශීය වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගෝලීය අස්ථාවරභාවයන් තියෙන අවස්ථාවන්වල වඩාත් වැදගත් වෙනවා. මොකද අපි ඉන්නේ ඔහේ පාවෙන ගෝලීය ආර්ථික වටපිටාවක. මම කාරණා දෙකක් කිවයුතුයි. මම හදවතින්ම ඔබ එක්ක ඉන්නවා. අසීරු තත්ත්වයකින් ගොඩ ඒමට ඔබට හැකිවෙලා තියෙනවා දේශපාලන වෙනසකුත් එක්ක. හැබැයි ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයන් කළ යුතුව තිබෙනවා. ඔබ නිවැරදියි. සාමාන්‍යනේ අලුත් ආණ්ඩු බලයට ආවාම කියන්නේ අපි කලින් කියපු සියල්ල වැරදියි කියලා අපි අලුත් මොනවා හරි කරනවා කියලා. ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකින් ගොඩ ගැනීමේ කාර්යටයි අපි අත පොවලා තියෙන්නේ. මේකේදී බොහොම අහිතකර දේවල් වෙන්න පුළුවන්. මම ශ්‍රී ලංකාවේ ජනතාවගේ හදවත් වැළඳගන්නවා. ඔබ අත්පත් කරගත් දේවල්වලට මගේ ගෞරවය හිමි වෙනවා. ජනාධිපතිතුමනි මම ඔබට දෙවනුව කියන්නේ ඔබ යම් දෙයක් හිතනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විදිහට අපිට තවත් සහාය විය හැකියි. කිසියම් වූ විශේෂ ක්ෂේත්‍රයකට අපේ සහාය අවශ්‍ය නම් ඒ සඳහා සහාය විමට අපි බොහොම සතුටින් ආශාවෙන් මැදිහත් වෙනවා සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා''