සිරි දළදා දැක්මට අප්‍රේල් 18 වැනිදා ඇරඹෙයි..

සිරි දළදා දැක්මට අප්‍රේල් 18 වැනිදා ඇරඹෙයි..

by Staff writer 02-03-2025 | 8:07 PM

COLOMBO (News 1st)-

සිරි දළදා දැක්ම -  විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා ආරම්භ වන බව අද නිවේදනය කෙරිණ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග ප්‍රදීප් දෑල මහතා ඒ බව පැවසුවේ, අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ය.

සිරි දළදා දැක්ම විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වැනිදා සිට දින 10ක් පැවැත්වෙයි.

මේ අතර, සිරි දළදා දැක්ම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළේ ය.

එහි දැක්වුණේ සිරි දළදා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද මහනුවරදී සාකච්ඡාවක් පැවති බවයි.

රට තුළ බෞද්ධ ප්‍රබෝදයක් ඇතිකිරීමේ අරමුණින් එය සංවිධානය කෙරෙයි.

අලුත් අවුරුද්දේ දිගුවක් ලෙස පැවැත්වෙන දළදා දැක්ම රට අලුත් දිශාවකට යොමු කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශ්වාසය පල කරන බව නිවේදනයේ සඳහන් ය.

නිවේදනයේ දැක්වෙන්නේ, දළදා දැක්ම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමි‍ණෙනු ඇති බවයි.

ඔවුන්ට කිසිදු බාධාවකින් තොරව වැදපුදා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය දායකත්වය ලබා දෙන බව ද එම නිවේදනයේ සඳහන් ය .

දළදා ප්‍රදර්ශනයේදී ප්‍රධාන පෝලිම් තුනකින් මහජනතාවට දළදා වහන්සේ වන්දනා කරගැනීමට අවස්ථාව ලබාදීමට සාකච්ඡා වී තිබේ.

දළදා දැක්ම පැවැත්වෙන කාලසීමාවේදී  මහනුවර ප්‍රදේශයේ පාසල් නිවාඩු ලබා දීමටත් , එම දරුවන්ට වෙනත් දිනයන්හි පාසල් පැවැත්වීමටත් යෝජනා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.