ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙසක්

සීමිත මූල්‍ය රාමුව තුළ ප්‍රතිපාදන කාර්යක්ෂමව යොදවන්න ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්.

by Staff writer 25-02-2025 | 10:41 PM

COLOMBO (News 1st) - සීමිත මූල්‍ය රාමුව තුළ අමාත්‍යාංශ සඳහා වෙන් කළ ප්‍රතිපාදන කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස යොදවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

ඒ අමාත්‍යාංශ ලේකම්වරු අතර  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති සාකච්ඡාවකදී.

මෙම සාකච්ඡාවේදී රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර‍ ගන්නා බව ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.  

සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් එම මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම  රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ඒ අනුව වියදම් කළමනාකරණයේදී රාජ්‍ය නිලධාරීන් නිසි වගවීමකින් කටයුතු කළ යුතු බවයි.

රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත්  ආකල්පයක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවය තුළ පවතින අකාර්යක්ෂමතාව ඊට හේතුව වී ඇති බව පෙන්වා දුන්නේ ය.

රාජ්‍ය සේවයේ වියදම් අඩු කිරීම සඳහා රජයේ කාර්යාල සියල්ල රජයේ ගොඩනැගිලිවලට ගෙන ඒම, ඉහළ නඩත්තු වියදමක් සහිත අමාත්‍යාංශ සතු වාහන  මාර්තු මාසය වන විට වෙන්දේසි කිරීමට සැලසුම් කිරීම, භාවිත නොකරන කාර්යාල උපකරණ ඉවත් කිරීම, වසා දැමිය යුතු ආයතන, ඒකාබද්ධ කළ යුතු ආයතන සහ රාජ්‍ය පෞද්ගලික හිමිකාරීත්වයට ලබා දිය යුතු ආයතන හඳුනාගෙන ඒ සඳහා කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.