ගනේමුල්ලේ සංජීව ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

ගනේමුල්ල සංජීව ඝාතකයාට ගිනි අවිය ලැබී ඇත්තේ කඩුවෙලදී - තවත් තොරතුරු රැසක් හෙළිවෙයි.

by Staff writer 21-02-2025 | 8:38 AM

COLOMBO (News 1st) -

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ලේ සංජීව නැමැත්තා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේදී ඝාතනයට යොදාගත් ගිනි අවිය කඩුවෙළ නවාතැන් පොළකදී සැකකාර කාන්තාව තමාට භාරදුන් බව අත්අඩංගුවේ පසුවන වෙඩි තැබූ පුද්ගලයා පොලිසියට පවසා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, සැකකරු එහිදී ගිනි අවිය පරීක්ෂා කර බලා ඇති බවයි.

ඝාතනයට පෙර දින අදාළ කාන්තාව සහ අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල නවාතැන්පොලේ නැවතී සිට ඇති බවටද තොරතුරු වාර්තා ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

ගනේමුල්ල සංජීව ඝාතනය කර පෙරේදා පස්වරුවේ කුලී රථයක නැගී නුගේගොඩට ගොස් ප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙඳසැලකින් ඔවුන් දෙදෙනා ඇඳුම්ද මිලදී ගෙන තිබේ.

පලාගොස් ඇති කාන්තාව නුගේගොඩට පැමිණ සැකකරු මුණගැසී දෙදෙනාම අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුවට ගොස් ඇත්තේද කුළි රථයකින් ය.

පසුව ඝාතන සැකකරු වෑන් රථයකට නැග කල්පිටියට යමින් සිට ඇත්තේ ඉන්දියාවට පලායාමේ අභිප්‍රායෙන් බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

සැකකාර කාන්තාව මීගමුවේ සිට ත්‍රිරෝද රථයේ නැගී පලාගොස් ඇති බව දැනට කළ විමර්ශනවලදී අනාවරණ වි ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

ඝාතනයට දින කිහිපයකට පෙර අදාළ කාන්තාව සහ සැකකරු දිවුලපිටිය හා මීගමුව ප්‍රදේශයේ ලැගුම්හල් 2ක නවාතැන් ගෙන ඇති බවටද තොරතුරු අනාවරණ  වී තිබේ.

පොලිසිය සඳහන් කළේ,  රුපියල් ලක්ෂ 150 ක කොන්ත්‍රාත්තුවක් මත ගනේමුල්ලේ සංජිව නැමැත්තා ඝාතනය කළ බවත් ඉන් රුපියල් ලක්ෂ 02 ක මුදලක් ගිණුමට බැර වී ඇති බවත් සැකකරු පවසා ඇති බවයි.

ඉතිරි මුදල් ඉන්දියාවේදී ලබාදීමට එකඟ වී තිබේ.

පලාගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරමින් සිටී.

ගනේමුල්ලේ සංජීව නැමැත්තා පෙරේදා කොළඹ, අලුත්කඩේ අංක 05 අධිකරණයේ විත්ති කුඩුවේදී වෙඩි තබා ඝාතනය කෙරිණ.