අරුණ විදානගමගේ සහ දියණිය වෙඩි ප්‍රහාරයකින් මරුට

අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සහ දියණිය වෙඩි ප්‍රහාරයකින් මරුට

by Staff writer 19-02-2025 | 7:54 PM

COLOMBO (News 1st) - මිද්දෙණිය තෝරකොළයාය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින්, අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා සහ ඔහුගේ සය හැවිරිදි දියණිය ඝාතනයට ලක්විය.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහුගේ 9 හැවිරිදි පුත්‍රයා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.

දරු දෙදෙනා සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ඔවුන් මෙම වෙඩි ප්‍රහාරයට ලක් විය.

ඊයේ රාත්‍රී 10 ට පමණ මැදමුලනේ පිහිටි සිය බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසේ සිට අරුණ, තෝරකොලයායේ තාවකාලික රැදී සිටි ස්ථානය වෙත සිය දරුවන් තිදෙනා සමග යතුරු පැදියෙන් පිටත්වී තිබිණි.

අතර මග ගල්පොත්තයායේදී සිය වැඩිමහල් පිරිමි දරුවා රාත්‍රී හෝටලයක් වෙත යවා තිබුණේ ආහාර ලබා ගැනීම සඳහායි.

වැඩි මහල් පුත්‍රයා එම ස්ථානයේ රඳවා ඔහු කුඩා පුතු හා දියණිය සමග තෝරකොලයාය දෙසට පිටත්වී තිබුණි.

අරුණ සහ දරුවන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණේ රාත්‍රී හෝටලය පසුකර කිලෝමීටරයක් පමණ ගමන් කිරීමත් සමගයි.

මිද්දෙණිය කඩේවත්ත මංසංධියේදී එම වෙඩි ප්‍රහාරය එල්ලවී විය.

පොලිසිය පවසන ආකාරයට අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා එම ස්ථානයේදී මිය ගොස් තිබේ.

ඝාතනයට ලක්වන විට ඔහුගේ වයස අවුරුදු 39 ක්.

6 හැවිරිදි දියණිය වීරකැටිය දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් තිබූ අතර 9 හැවිරිදි පුත්‍රයා ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලිසිය පැවසුවේ, T 56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇති බවයි.

ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා ආයුධ ළඟ තබා ගැනීම, කප්පම් ගැනීම ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් වරින් වර චෝදනා එල්ල වූ අයෙක්.

අවස්ථා කිහිපයකදී ඔහු රක්ෂිත බන්ධනාගාරගතව එම චෝදනාවලට අදාළවයි.

ඊට අමතරව ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයින් කිහිප දෙනෙකු සමග සමීපව කටයුතු කළ අයෙක්.

නමුත් අරුණ විදානගමගේ හෙවත් කජ්ජා වඩාත් ආන්දෝලනයට ලක්වූයේ පසුගිය වසරේ යූටියුබ් නාලිකාවක පෙනී සිටිමින් කළ ප්‍රකාශයක් සමගයි.


අරුණ විදානගමගේ
2024-02-11
දර්ශන - චමුදිත සමරවික්‍රම යූ ටියුබ් නාලිකාවෙන්

වින්දිතයින් ආරක්ෂා කිරීමේ එකට මං දාලා තියෙනවා පැමිණිල්ලක් ආරක්ෂාව ඉල්ලලා ඒකට මට ලැබිලා නැහැ + මගේ කට ඇරියොත් ප්‍රශ්ණ ගොඩයි + මං ගැන වගකීමක් ගන්නවා නම් කවුරු හරි මම මේ සියලු දේ කියනවා +  තාජුඩීන් විතරද අතුරුදන් වෙලා තියෙන්නේ +++එක ආණ්ඩුවක් ආවම ඒක ඔප්පු වෙනවා අනිත් ආණ්ඩුව ආවම කොහොමද ඒක නැති වෙන්නේ ++ ඔය එකක් කිව්වේ තාජුඩීන් කිව්වේ ++ එතකොට බෙලිඅත්තේ චන්ඩි ඇමතිතුමාට මොකක්ද වුනේ++අධී ආරක්ෂක කාලපේ එයා මැරුණානේ කොහොමද අධිආරක්ෂක කලාපේ මැරෙන්නේ ++ මගේ ජිවිතේ නැති කරා කියලා මේ සාක්ෂි නැතිවේනනේ නෑ ++ සාක්ෂි ඕන විදිහට ලෑස්ති කරලා තියෙනවා මගේ ජිවිතයට දැන් කරදරයක් වුනොත් ඒ සියලුම සාක්ෂි මාධ්‍යයට එයි ++ පුලුවන් නම් මාව මරලා පෙන්වන්න + බය නැහැ මේ මිනිස්සු මට දැන් කොහොමත් නිවන්සුව පතලා තියෙන්නේ.---

අරුණ විදානගමගේ එම සාකච්ඡාවේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන චරිත ගණනාවක් පිළිබඳව විවේචනාත්මක අදහස් පලකර තිබේ.

පසුගිය කාලසීමාවේ ඔහු දීර්ඝ කාලයක් ක්‍රියාකාරීව සිටි දේශපාලන පක්ෂය වෙනුවට වෙනත් පක්ෂකට සහය දක්වා තිබූ ආකාරය ඔහුගේ ෆේස් බුක් ගිණුමේ ඇතැම් සටහන්වලින් දැකගත හැකියි.

කෙසේවෙතත් මෙම ඝාතනයට සම්බන්ධ කවුරුන්දැයි අද (19) පස්වරුව වනවිටත් ප්‍රකාශකර නොතිබිණි.

සැකකරුවන් සොයා පොලිසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.