අදත් පළාත් 5කට උණුසුම් කාලගුණයක්

අදත් පළාත් 5කට උණුසුම් කාලගුණයක්... වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන්න.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 19-02-2025 | 8:09 AM

COLOMBO (News 1st) - දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැණෙන උණුසුම අද(19) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු ,උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් එලෙස උණුසුම ඉහළ යා හැකි බවයි.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේකීව සිටින ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වැඩිහිටි හා රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා ළමුන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් හැකි පිරිදි සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.