රාජ්‍ය සේවක වැටුප් ඉහළට ..

රාජ්‍ය සේවක වැටුප් ඉහළට ..

by Staff writer 17-02-2025 | 1:15 PM


රාජ්‍ය සේවයේ අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කර තිබේ.

දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කිරීමට යෝජනා කර තිබේ.

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වේ.

රුපියල් 15,750 ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80 %  කින් ඉහළ නැංවීමට යෝජිතය.

ඒ අනුව, රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත.

රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිතය.

මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කෙරේ.

මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000 ක් සහ ඉතිරි මුදලින් 30%ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි  70% 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී සමාන කොටස් වශයෙන් ගෙවනු ඇති.

එබැවින්, 2025 වසරේ දී යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කර තිබේ.

මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස, යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින්, 2025 ජනවාරි මස 01 වැනිදා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීමට සිදු වෙයි.

රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සලකා බැලීමේදී රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව දැනට පවතින රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නංවයි..