.webp)
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හෙට මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ 79 වැනි අයවැයයි.
2025 වසර සඳහා වන අයවැය කථාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට උදෑසන 10.30 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2025 වසර සඳහා ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් බිලියන 4218කි.
පසුගිය වසරට වඩා ආණ්ඩුවේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 2760කින් අඩුවී තිබීම විශේෂත්වයකි.
ගෙවුණු 2024 සඳහා රජයේ වියදම සටහන් වුණේ , රුපියල් බිලියන 6978ක් ලෙසයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7ක් පැවැත්වීමට නියමිත වෙයි.
අනතුරුව පෙබරවාරි 25 ප.ව 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිත ය.
ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වීමට නියමිතයි.
හෙට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද නිරීක්ෂණය කළේ ය.
ඒ ජනාධිපති කාර්යාලයේදී ය.