.webp)
COLOMBO (News 1st) -අනුරාධපුර, පරසංගස්වැව ගම්මානය කියන්නේ , අවුරුදු ගානක් තිස්සේ බොන්න පිරිසිදු වතුර බිඳක් නැතුව ජීවත් වෙන ගම්මු ඉන්න ගම්මානයක්.
පොරොන්දු , පොරොන්දුවලට පමණක් සීමා වුණු කාලයක ජනතාව වෙනුවෙන් සිටින ගම්මැද්ද අද ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියක් ලබා දුන්නා.
2025 වසර ආරම්භයත් එක්ක, එක දිගට එක පෙළට ජනතාව සමග , ජනතාව වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කරන්න ගම්මැද්දට හැකි විය.
පවුල් 577ක් විතර ජීවත් වෙන අනුරාධපුර , පරසංගස්වැව ගම්මුන් වෙනුවෙුත් අද ඒ වගේම ව්‍යාපෘතියක් ගම්මැද්ද ලබාදුන්නේ, පී.ඒ.ඩී ප්‍රේමදාස මහතා සහ රම්‍යා ඉඹුල්ගොඩ මැතිණිය ඇතුළු පවුලේ පිරිසගේ දායකත්වයෙන් ය.
තාක්ෂණික සහයෝගය සුපුරුදු විදිහට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලැබුණි.
පරසංගස්වැව නීග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කාව්‍ය ශ්‍රී අයගම ධම්මරතන හිමියන්, අනුශාසක පූජ්‍ය අයගම නාරද හිමියන් සහ මොහිදීන් ජුම්මා මස්ජිත් දේවස්ථානයේ රස්කාන් මවුලවිතුමන්ගේ ආශිර්වාද මැද ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කළේ ය.
පූජ්‍ය අයගම නාරද හිමි - අනුශාසක පරසන්ගස්වැව නීග්‍රෝධාරාම විහාරස්ථානය
''ජනී ජනයාගේ පවස නිවා සහහනු වස් සද්ධාද්‍යාශයෙන් සිදු කරන ලද ජල පිරිපහසුව ජනතා සන්තක කිරීම අමාමහ නිර්වාන ධාතුව ප්‍රක්ත්‍යාක්ෂණය පිණිස මේ උත්තම කුසල ශක්තිය උපනිශ්‍රය වේවායි පුඤ්ඤානුමෝදනා පූර්වකව නිරන්තර ආශිර්වාදය ප්‍රාර්ථනා කරම්හ''
මෙම අවස්ථාවට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් එම්.එස්.එල් විජේසිංහ, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් එම්.බී.එස් ගුණතිලක, පරසංගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අන්වර් ඩීන් , ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල්, මහලේකම් ප්‍රසන්න අතුකෝරල මහතා ඇතුළු ගම්මැද්ද කණ්ඩායම සහභාගී විය.
ගොවිතැනින් උපයාගත් සොච්චම්, මුදලින් පිපාසය සන්සිදුවා ගත් මේ මිනිස්සුන්ට අද ඉදන් අලුත් ජීවිතයක් ලැබුණි.
ඒ ගැන ගම්මු ඉන්නේ හුඟක් සතුටින්.
''පින් සිද්ද වෙනවා මේ ගමට ඉතින් වතුර නැතුවනේ හිටියේ හුගාක්ම''
''මේකේ මම දන්න විදිහට දැනට අප අතරින් වෙන් වෙලා ගිහිල්ලා තියනවා වකුගඩු රෝගීන් 10කට වැඩිය. අපිට පිරිසිදු වතුරක් බොන්න නැහැ. ඉතින් මේ කරපු පුන්‍ය කටයුත්ත ගම්මැද්ද වැඩසටහනෙන් අපිට ලොකු හයියක් වුණා''
'' පිල්ටර් වතුර ආවට පස්සේ සල්ලිවලට නම් ටිකක් බිව්වා. ඊට පස්සේ අපිට සල්ලි ටිකක් අමාරුයි. දැන්නම් ලොකු පිනක් මේක හදලා මේවා කරගත්ත එක. ලොකු සතුටක් ගම්මැද්දට බොහොම ස්තූතියි''
තරුණ නායකත්වය, ජනතාවගේ සහයෝගය, පැහැදිලි දැක්ම සහ නොපසුබට උත්සාහයෙන් ගම්මැද්ද දිනෙන් දින රටේ ජනතාවගේ ජීවිත වෙනස් කිරීමට කැපවී සිටී.