පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියාකලාපය අධීක්ෂණයට

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියාකලාපය සමීපව නිරීක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙළක්...

by Staff writer 15-02-2025 | 9:13 PM

COLOMBO (News 1st) - පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියා කලාපය සමීපව අධික්ෂණය කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, තමන් රාජකාරි කරන පොලිස් බල ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම , වෙඩි තැබීම් හා සංවිධානාත්මක අපරාධ ක්‍රියා පාලනය පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරෙන ප්‍රමුඛ රාජකාරිය බවයි.

එම වගකීම් නිසි පරිදි ඉටු කරන්නේ දැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් මාසිකව සමාලෝචනය කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ප්‍රජාව සමග සුහදතාව වර්ධනය කර ගැනීම මෙන්ම පොලිස් බල ප්‍රදේශයේ සාමය පවත්වා ගෙන යෑමට කැපවීම ස්ථානාධිපතිවරුන් විසින් සිදු කළ යුතු කාර්ය අතර වේ.

යම් පොලිස් ස්ථානාධිපතිවරයෙකු එම වගකීම්වලට අනුගත නොවී සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වන්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ  ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නීති ගරුක සුහදශිලී පොලිස් සේවයක් ඇති කිරීම සඳහා නව රජය කැපවී සිටින බවයි.