මෝදිත් ගිය AI ක්‍රියාකාරී සමුළුව...

මෝදිත් ගිය AI ක්‍රියාකාරී සමුළුව...

by Staff writer 11-02-2025 | 7:07 PM

COLOMBO (News 1st) - ප්‍රංශයේ පැවැත්වෙන AI ක්‍රියාකාරී සමුළුව මේ වන විට ආරම්භ වී තිබේ.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සමුළුවේ සම සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

පෙබරවාරි 12 දක්වා අගමැති මෝදි ප්‍රංශයේ සිටින අතර එහිදී ඔහු AI ක්‍රියාකාරී සමුළුවේ සම සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබේ.

මෙවර AI ක්‍රියාකාරී සමුළුව තුළින් කෘතිම බුද්ධිය උපයෝගි කර ගනිමින් ලොව තුළ සිදු කළ හැකි ක්‍රියාවන් සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමට නියමිතයි.

අගමැති මෝදිට සහ ප්‍රංශයේ සංචාරය කරන රාජ්‍ය නායකයින්ට ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මැක්‍රොන් විසින් එලිසි මාලිගයේ දී පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහය අද පැවැත්වීමට නියමිතයි.

මෙම භෝජන සංග්‍රහයට තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරීන් විශාල පිරිසක් සහ තවත් සම්භාවනීය ආරාධිතයින් ගණනාවක් සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

හෙට දින නායකයින් දෙදෙනා යුද සුසාන භූමියට පැමිණෙන අතර එහිදී ඔවුන් පළමු ලෝක යුද්ධයේදී ඉන්දීය සොල්දාදුවන් කළ පරිත්‍යාගයන්ට ගෞරව දැක්වීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන්.

අගමැති මෝදිගේ ප්‍රංශ සංචාරයෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව ඔහු දෙදින සංචාරයක් සඳහා අමෙරිකාවට යාමට නියමිතයි.

ජනාධිපති ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමෙන් පසු නායකයින් දෙපළ අතර පැවැත්වෙන පළමු හමුව මෙයයි.

මීට පෙර, අගමැති මෝදි 2017 ජුනි මාසයේදී අමෙරිකාවට ගිය අතර 2020 පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති ට්‍රම්ප් පැමිණියා.

නායකයින් දෙදෙනා 2024 වසරේ දෙවරක් දුරකථනයෙන් සංවාද පවත්වා තිබේ.