විදුලිය බිඳ වැටීම ගැන මණ්ඩලයෙන් වාර්තාවක්..

විදුලිය බිඳ වැටීම ගැන මණ්ඩලයෙන් වාර්තාවක්.... විදුලි කප්පාදුවක් වෙයි ද? අවසන් තීන්දුව අද

by Staff writer 10-02-2025 | 9:09 AM

COLOMBO (News 1st) -දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳ කෙටි කාලීන වාර්තාවක් අද විදුලි බල අමාත්‍යාංශයට ලබාදෙන බව විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, එකවර රට පුරා විදුලිය බිඳ වැටීමට හේතු ඉන් අනාවරණය කරන බවයි.

ඉදිරියේදී විදුලිය කප්පාදුවක් කළ යුතු ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

පවතින තත්වය තුළ ඇති විය හැකි හදිසි විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන්, අධ්‍යයනය කරමින් ඇතැයි ද, ඔහු පැවසුවේ ය.

ඒ අනුව දෛනිකව අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඊයේ පෙරවරු 11 ත් 12 ත් අතර එලෙස දිවයින පුරා විදුලිය සැපයුම බිඳ වැටුණි.

ඊට හේතුවූයේ පානදුර ග්‍රීඩ් උපපොළේ ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වයකි.

එම සිදුවීමත් සමග සමස්ත විදුලි බල පද්ධතියේ සමතුලිතතාව බිඳ වැටීමෙන් විදුලිය සැපයුම අඩාල වූ බව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ ය.

එලෙස විදුලිය සැපයුම අඩාලව පැවති කාලය පැය 5කට ආසන්නයි.

පසුගිය ආණ්ඩුවල සැලසුම් රහිත අදූර්දර්ශී වැඩපිළිවෙළ ඊට හේතුවූ බව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, තවදුරටත් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය තත්වයේ පවතියි.

මෙගාවොට් 300 බැඟින් ඉන් ජාතික විදුලි පද්ධතියට එක් කෙරෙන සම්පූර්ණ විදුලි ධාරිතාව, මෙගාවොට් 900 කි.

විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බවයි.

එතෙක් විදුලි උත්පාදන කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් අද පැහැදිලි කිරීමක් කරන බව, ඔහු සඳහන් කළේ ය.

මේ අතර , පවතින වැසි රහිත කාලගුණික තත්වය මාර්තු අග දක්වා පැවතිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ජනවාරි මාසයට සාපේක්ෂව මේ මාසයේ වැසි රහිත කාලගුණයක් පවතින බවයි.