News1st මාධ්‍යවේදී අනුරුද්ධ දිවි රඟ මඩලට සමුදෙයි

තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය වෙනුවෙන් කැපවුණු News 1st මාධ්‍යවේදී අනුරුද්ධ රත්නායක දිවි රඟ මඩලට සමුදෙයි...

by Staff writer 07-02-2025 | 8:42 PM

COLOMBO (News 1st) - දුෂ්කර අවස්ථාවලදී නොසැලී කටයුතු කරමින් කණ්ඩායමට ශක්තිය දෙන මානව දයාවෙන් පිරිපුන් ගමන් සගයින් ලෝකයේ බොහෝ තැන්වලදී අපට හමුවනු ඇත.

අනුරුද්ධ එවැනි ගමන් සගයෙකි.

43 වසරක දිවි ගමනේ සංවේදී මතක රැසක් අප අතර ඉතිරි කරමින් ඔහු අද පෙරවරුවේ හදිසියේ අභාවප්‍රාප්ත විය.

අනුරුද්ධ රත්නායක, 1982 වසරේ අගෝස්තු 29 වැනි දා උපත ලැබුවේ අනුරාධපුර තලාවේදීයි.

ඔහු අනුරාධපුර නිවත්තක චේතිය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

පවුලේ සියල්ලන්ගේ මෙන්ම ඇසුරු කරන හැම දෙනාගේම ආදරය දිනා සිටි ඔහු, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

අනුරුද්ධ වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙනි.

TNL ප්‍රවෘත්ති අංශයේ ද, කලක් කටයුතු කළ ඔහු 2006 වසරේ ජුනි 12 වැනි දා සිරස මාධ්‍ය ජාලයට එක් විය.

ඒ, නිවුස්ෆස්ට් කණ්ඩායමේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු ලෙසයි.

පසුව සිරස FM ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස ද කටයුතු කළ අනුරුද්ධ, ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම වෙනුවෙන් ඇප කැප වූ විශිෂ්ට ජනමාධ්‍යවේදියෙකි.

MIM හෙවත්, මහරාජා මාධ්‍ය ඇකඩමියේ වැඩසටහන් නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඔහු, සිරස මාධ්‍ය ජාලය තුළින් නව පරපුරේ දක්ෂයින් රැසක් රටට හඳුන්වාදීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ය.

වාර්තාකරුවාගේ භූමිකාවේ සිට ප්‍රවෘත්ති සංස්කාරකවරයා දක්වා වූ ගමන් මඟ තුළ ඔහු ගම්මැද්ද, සහන යාත්‍රා, වී ෆෝස්, දවස, ඇතුළු විවිධ වැඩසටහන්වලටද සම්බන්ධ විය.

තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය වෙනුවෙන් කැපවීමෙන් පෙනී සිටි අනුන්ගේ දුකට සංවේදී මිනිසෙකු වූ අනුරුද්ධ, අපට සදාතනික මතකයකි.