COLOMBO (News 1st) - පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු ජනතාවට ආරාධනා කර තිබේ.
ඒ, 77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.
මෙරට ජනතාව මෙවර ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවක් සමගින් බව ජනාධිපතිවරයා පැවසීය.
මග හැරුණු පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යළි ගොඩනගා ගැනීමේ අභියෝගය සමග මෙරට සියලු දෙනා සාමූහිකව පොරබදිමින් ඇතැයි එම පණිවුඩයේ සඳහන් විය.
නව රජය ලෙස පසුගිය මාස හතර තුළ විවිධ ක්ෂේත්රවලින් රට ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරමින් ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
පැවැති දූෂිත දේශපාලන තන්ත්රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව සහ ස්ථාවරව ඉදිරියට යමින් ඇතැයි ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් විය.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ,පොරොන්දුව පරිදිම අද වනවිට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට තම කණ්ඩායම සමත්ව සිටින බවයි.
ඒ අනුව ක්‍රමානුකූලව සියවස් ගණනක් සියලු දෙනා දුටු සිහිනය සැබෑ කර ගැනීම පිළිබඳ වූ ඉතිහාසයේ වඩා නිර්මාණශීලීම කාර්යය නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට රැගෙන යාම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ, ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසයි.
මේ අතර සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරිසුරිය පවසයි.
77 වන නිදහස් දිනය වෙනුවෙන් ඇය නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ, සැබෑ නිදහස තහවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ හෝ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත්වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතු බවයි.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇතැයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.
ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථිකය නගා සිටුවීමට මුල් තැන දෙමින් සියලු දෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි තීරණ ගැනීමේ භාරදූර කාර්යය කළ යුතුව ඇති බව ද ඇය නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ සඳහන් විය.
මෙම ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි අග්‍රාමාත්‍යවරිය ඉල්ලා සිටි.