ඌව වෙල්ලස්සේ සිට සැමරූ ගම්මැද්දේ නිදහස...

නිදහස් සටනේ ආරම්භය සනිටුහන් වූ ඌව වෙල්ලස්සේ සිට සැමරූ ගම්මැද්දේ නිදහස...

by Staff writer 04-02-2025 | 8:50 PM

COLOMBO (News1st) - සති ගණනාවක විවිධ දුෂ්කරතා සහා අභියෝග මැද ඌව වෙල්ලස්සේ අනාගත දරු පරපුර මෙවර 77 වන ජාතික නිදහස් දින සැමරුවේ, ගම්මැද්දත් එක්ක අත්වැල් බැඳගනිමින් ය.

ප්‍රදේශයේ 2000කට අධික දුවා දරුවන් පිරිසක් අභිමානවත් නිදහස පිළිගත්තේ විශේෂාංග රැසක් සහිත පෙළිපාලියකින් ය.

ගම්මැද්ද නිදහස් දින පෙලපාලිය බදුල්ල නුවරඑලිය මාර්ගයෙන් ආරම්භ වී හාලිඇල නගරය හරහා හාලිඇල මහජන ක්‍රීඩාංගණයට පැමිණියෙ ය.

සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානි , කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ, ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියල්, MTV ප්‍රධාන මෙහෙයුම් නිලධාරී , ගම්මැද්ද නියෝජ්‍ය නායක යසරත් කමල්සිරි,  සහ සිරස TV මෙන්ම නිවුස් ෆස්ට් ඉහළ කළමනාකාරීත්වයත් මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන, හාලි ඇල ප්‍රාදේශිය ලේකම් චමින්ද වීරසිංහ , හාලි ඇල ප්‍රාදේශීය සභාවේ ලේකම් ඒ ජේ බැද්දේවිතාන, ඌව පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න , බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ , බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් , ඌව පලාත් ශිෂ්‍ය භට බලකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව ගොඩගේ සහා බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද මීට එක්ව සිටියේ ය.

හාලි ඇල ප්‍රාදේශීය සභාව , හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලය මෙන්ම ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගම්මැද්ද නිදහස් දින සැමරැම සාර්ථක කර ගැනීමට ලබාදුන්නේ විශාල දායකත්වයකි.

මෙවර ගම්මැද්ද නිදහස් දින සැමරැවේදී ජාතික ගීය ගායනා කරන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් 120 දෙනෙකු එක්විය. 

1818 ඌව වෙල්ලලස්ස සටනේදී රට ජාතිය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදුණු අභීත විරුවන්ට පුෂ්පෝපහාර පුද කෙරුණේ ඉන් අනතුරුවයි.

ගම්මැද්ද නිදහස් දින සැමරුමට එක්වූ දුවා දරුවන්ට , ඔවුන්ගේ දක්ෂතා රටට වගේම ලෝකයාට පෙන්වන්නත් සුපුරුදු විදිහට අවස්ථාව හිමිවිය.

උත්සව සභාව ඇමතූ කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ, සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානි, ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියල් මහතා අවධාරණය කළේ රටේ ජනතාව දුප්පත්කමින් නිදහස් කිරීමට ගම්මැද්ද අඛණ්ඩවට කටයුතු කරන බවයි.


ශෙවාන් ඩැනියල් - ගම්මැද්ද නායක 
සිරස මාධ්‍ය ජාලයේ සමූහ අධ්‍යක්ෂ

''ගම්මැද කියන්නේ අපේ ජනතාවම තමයි ඒ නිසා තමයි අපි අද සමරන්නේ ජනතාවගේ නිදහස. මේ නිදහස් උළෙලට සමගාමීව අපේ ගම්මැද කණ්ඩායම් ගොඩක් මහන්සි වෙලා ඉතාමත්ම දුෂ්කර පළාත් වලට ගිහිල්ලා ජනතාවගේ ඒ දුක දුප්පත්කම ඒ පිළිබඳව දකිනවා ඇහුම්කන් දුන්නා. එතනදි අපට තේරෙන දෙයක් තමයි අපි දේශපාලනිකව නිදහස් වෙලා තියෙනවා තමයි නමුත් අපි දුප්පත්කමින් නිදහස් වෙලාද කියන ප්‍රශ්නය අපට තාමත් තියෙනවා. දුප්පත්කම කියන ඒ මාංචු වලින් නිදහස් වෙලා නෑ. ඒ නිදහස වෙනුවෙන් තමයි ගම්මැද්ද අපේ රටේ ජනතාවත් සමඟ අපේ ගෞරවනීය රාජ්‍ය නිලධාරීන් සමඟ ජාත්‍යන්තරයත් සමඟ මේ සටන එක දිගටම දියත් කරන්නේ''


බදුල්ල දිස්ත්‍රික් ලේකම්  ප්‍රභාත් ජයවර්ධන මහතා මෙහිදී ගම්මැද්ද අගය කළේ ය. .


ප්‍රභාත් අභයවර්ධන - බදුල්ල දිස්ත්‍රික් ලේකම්

''අපේ රට දියුණුවට ගෙනියන්නට නම් එදා රොබට් බන්ඩ්‍රික් කියපු කියමන වෙනස් කරන්න ඕනි. ඒ තමයි අපේ මේ තියෙන දීනත්වය අප තුළින් සිත් තුළින් ඉවත් කරලා අර 1815ට පෙර හිටපු අධීන ජාතිය බවට ශ්‍රී ලාංකිකයන් බවට අපි පත් කරගන්නට. ඒ සිතුවිල්ල ඔප්නන්වන්නට අපේ දරුවන්ට අවස්ථාව ලබාදෙමින් මේ දරුවන්ගේ දක්ෂතා පෙන්නන්නට අපට අවස්ථාව සලසපු ගමන් මැද්ද වැඩසටහන ගෙන යන පියවර අපි අගය කරලා ඕනි ''


නිදහස් සැමරුම ඇමතූ MTV ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ,ගම්මැද්ද නියෝජ්‍ය නායක යසරත් කමල්සිරි මහතා

''මේ නිදහසත් සමග බැඳුණු ඌව වෙල්ලස්සේ ජනතාවගේ ඒ අභිමානය මේ නිදහස් උත්සවේදී අපට සමරන්නට ලැබීම මම හිතන්නේ ඉතාමත්ම සතුටුදායක අවස්ථාවක්. අද අපි මේ ඔබ සියලු දෙනාට තනා දී තිබෙන්නේ නිදහසේ වේදිකාව. මේ නිදහසේ වේදිකාවේ නිදහසේ තමන්ගේ හැකියාවන් රටට පෙන්නන්නට අපි මේ ඌව ප්‍රදේශයේ සියලුම පාසල් දරු දැරියන්ට අවස්ථාව සලසා දී තිබෙනවා''

ස්ටයින් ස්ටූඩියෝස් හි උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා ද සැමරුම් උළෙල ඇමතුවේ ය.
 

චන්දන සූරියබණ්ඩාර - Stein Studio උපදේශක  

'' අපට අලුතෙන් හිතන්න අලුතෙන් ක්‍රියා කරන්න අලුත් ලෝකයක් තනන්න අලුතෙන් ලෝකයත් එක්ක සබඳතා හදන්න අවශ්‍ය කරන පරිසරයක් නිර්මාණය කරගන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මම හිතනවා ඒ අවස්ථාව අපි උපරිමයෙන් භුක්ති විඳින්නට ඕනි කියලා. ඒ සඳහා තමයි ගම්මැද්ද වගේ සංකල්ප අතිශයින්ම වැදගත් වෙන්නේ. මම ගම්මැද්ද හැමදාම හඳුන්වන්නේ හෘදය සංවේදී මහා ව්‍යාපාරයක් කියල. මෙරට දැන් බෙදිලා කාගෙන කොටාගෙන ජාතිවාදය ආගම්වාදය වපුරවලා කෑවා කෑවා කෑවා ඇති. දැන් හොඳටම ඇති. අපි ඔක්කොම එක මිටකට එකතු වෙලා එක ගමනක් යන දවස උදා කරගමු ''

මේ  ඌව වෙල්ලස්සේ ජනතාවගේ ශක්තියයි.

මේ අපේ රටේ ජනතාවගේ ශක්තියයි.

වසර 77ක අභිමානවත් නිදහස් ගැන අපි කතා කරද්දී එකට එකතු වුනොත් අපිට කරන්න බැරි දෙයක් නෑ කියන දේට අද ඌව වෙල්ලස්සේ ජනතාව කදිම නිදසුනකි.