COLOMBO ( News 1st ) -
පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ , මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ය.
එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව, මගී ප්‍රවාහන, විශේෂ කාර්යවාහන, වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන සහ පෞද්ගලික වාහන ආනයනය සඳහා අද සිට අවසර ලැබෙනු ඇති.
මේ අනුව වාහන ආනයනයට අදාළ වන කොන්දේසි පහත පරිදි වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු ලබන රෙගුලාසිවලට යටත්ව අවශ්‍ය වාහන ප්‍රමාණය ආනයනය කිරීමට හැකියාව පවතී.
නමුත් මෙම ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස 12ක කාල සීමාවක් තුළ ආනයනය කිරීමේ හැකියාව ඇත්තේ, එක් මෝටර් රථයක් පමණයි.
එසේ ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් රථයක් ගැනුම්කරුගේ නමට හෝ ආනයනකරුගේ නමට එකී මෝටර් රථයට අදාළ ආයාත බිල් පත්‍රයේ/රේගු සටහන් කරයේ (CUSDEC) දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු වේ.
වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමගින් අනෙකුත් අවශ්‍ය සියලු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
මේ අතර, ඉහත සඳහන් කළ ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවන වාහනය ආනයනය කිරීමේදී , තම ප්‍රථම වාහනය ආනයනය කළ දින සිට (රේගු සටහන්කරයේ දින සිට) මාස 12ක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බව ද එකී දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතු වේ.
යම් ආනයනකරුවෙකුට දින 90ක් ඇතුළත ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත්, එම මෝටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේදී, මෝටර් වාහනයේ පිරිවැය රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF Value) 45%ක උපරිම සීමාවකට යටත්ව, මාසිකව CIF අගයෙන් 3% බැගින් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදුවනු ඇති.
කිසිදු අවස්ථාවකදී මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්‍රදානය කරන්නේ නැත.
වාහනයේ වයස නීර්ණය කිරීමේදී, මෝටර් රථයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතු වේ.
සහනදායී බදු අනුප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිතා කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබා දෙනු නොලැබේ.
දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝණය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත්, එකී මෝටර් වාහනය (වාහන) රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින 90ක් ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රති-අපනයනය කළ යුතුය.
මේ අතර තීරු බදු නිදහස් කිරීමේ රේගු අඥා පනත යටතේ වූ විධි විධාන අනුව අය නොකළ තීරු බදු නැවත බලාත්මක කිරීම සඳහා 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ 2025 ජනවාරි මස 27 දිනැති අංක 2421/05 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, රේගු සංකේතාංක පරිච්ඡේද අංක 87 හි ඇතුළත් වන මෝටර් වාහන ආනයනය කිරීමේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් (CIF Value) 20%ක තීරු බද්ද අය කිරීම 2025 ජනවාරි මස 28 දින සිට බලාත්මක කරන ලදී.
එසේ වුවද, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30% ක තීරුබද්දක් අය වන පරිදි, රේගු ආඥා පනතේ 10 (අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක 20% ක් වු තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50% ක අධිභාරය සමඟ රේගු ආඥා පනත යටතේ මුළු තීරුබදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇත.