අධික වැසි නිසා ප්‍රදේශ රැසකට පීඩා

අධික වැසි නිසා ප්‍රදේශ රැසකට පීඩා

by Staff writer 31-01-2025 | 3:15 PM

COLOMBO (News1st) - අධික වැසි සහිත කාලගුණයෙන් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ලවී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල පුද්ගලයින් 212 දෙනෙකුට බලපෑම් එල්ලවී ඇති බවයි.

නාය යෑම්, පස්කඳු කඩා වැටීම් සහ ක්ෂණික ගංවතුර හේතුවෙන් එම දිස්ත්‍රික්කවල පුද්ගලයින් 100 දෙනෙකු මේ වනවිටත් සුරක්ෂිතතා මධ්‍යස්ථාන දෙකක රඳවා සිටි.

මේ අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 17කි.

ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය, රාගල, ලිඩ්ඩේටි ප්‍රදේශයෙන් වාර්තාවිය.

එම අගය මිලිමීටර් 105.50කි.

මේ අතර හඟුරන්කෙත - රිකිල්ලගස්කඩ, පදියපැලැල්ල, රාගල සිට මහනුවර මාර්ගය නාය යෑමක් හේතුවෙන් අවහිර වී තිබේ.

මන්දාරම්නුවර - පදියපැලැල්ල මාර්ගය සහ රිකිල්ලගස්කඩ හේවාහැට මාර්ගය ද අවහිර වී ඇත්තේ පස් කඳු කඩා වැටීමෙනි.

වලපනේ හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මාර්ග රැසක් ද තවදුරටත් අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

රත්නපුර, ඉඹුල්පේ ලදුයාය ඉහළගලගම පාසල අසළ නාය යෑමකින් මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබේ.

මේ අතර මහවිලච්චිය, නුවරවැව, උල්හිටිය රත්කිද, සේනානායක සමුද්‍රයේ වාන් දොරටු කිහිපයක් මේ වනවිටත් විවෘත කර ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

ඌව පළාතේ මෙන්ම මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට අද(31) දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.