ඇමති බිමල්ගෙන් සජිත්ට දොස්...

සජිත් ප්‍රේමදාස හොරු රකිනවා - ඇමති බිමල්ගෙන් සැර කතාවක්...

by Hashini De Mel 30-01-2025 | 9:27 PM

COLOMBO ( News 1st ) - ආණ්ඩුවට අසත්‍ය චෝදනා නගමින් විපක්ෂය හොරු ආරක්ෂා කිරීමට ඉදිරිපත්වී සිටින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(30) ප්‍රකාශ කළේ ය.

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අද(30) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වරායෙන් බහලුම් 323 ක් පරීක්ෂා නොකර පිට කිරීමට පියවර ගත්තේ යැයි ආණ්ඩුවට නගන චෝදනාවලට පිළිතුරු දෙමිනි.

කොළඹ වරායේ බහලුම් පරීක්ෂා කිරීමේදී ඇතිවූ ප්‍රමාදයත් සමග රේගු වෘත්තියක සමිතියක් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා බහලුම් 323 ක් පරීක්ෂා කිරීමකින් තොරව මුදාහැර ඇතැයි ප්‍රකාශ කළේ ය.

එම ප්‍රකාශයෙන් අනතුරුව සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශ්ව චෝදනා කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාගේ මැදිහත්වීමෙන් ඔහුගේ සමාගමක් මේ බහලුම් මුදාගෙන ඇති බවයි.

ඊයේ(29) මේ චෝදනාවට ප්‍රතිචාර දැක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා අවධාරණය කලේ තමන්ගේ නමට හෝ තමන්ට අයත් සමාගමක නමට කිසිදු බහලුමක් වරායෙන් මුදාහැර නොමැති බවයි.

මෙය දේශපාලන උවමනාවක් මත නැගූ බොරු චෝදනාවක් බව ද ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

මේ අතර විපක්ෂය චෝදනා නැගූ සමාගම ද ඊයේ(29) ප්‍රතිචාර දැක්වූ අතර ඔවුන් අවධාරණය කළේ, ඔවුන් ගනුදෙනුකරුවන්ට භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් පහසුකම් සපයන්නේ භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් සේවා සපයන්නෙකු ලෙස පමණක් වන අතර ආනයනකරුවෙකු ලෙස නොවන බවයි.

ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂාවකින් තොරව නිශ්කාශනය කරන ලැදැයි කියනු ලබන බහලුම් 323 න් කිසිවක් තම සමාගම හෝ අනුබද්ධ සමාගමකින් ආනයනය කර හෝ නැව්ගතකර හෝ වාප්පු නිශ්කාෂණ කටයුතු කර හෝ නොමැති බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.