මාවෛ සේනාධිරාසා අභවප්‍රාප්ත වෙයි

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ ජ්‍යේෂඨ නායක මාවෛ සේනාධිරාසා අභවප්‍රාප්ත වෙයි.

by Staff writer 30-01-2025 | 2:45 PM

COLOMBO (News1st) - ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ ජ්‍යේෂඨ නායක මාවෛ සේනාධිරාසා මහතා අභවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 83කි.

ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මාවෛ සේනාධිරාසා මහතා ඊයේ(29) යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභවප්‍රාප්ත වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

1942 වසරේ ඔක්තෝම්බර් 27 වැනිදා යාපනය, මාවට්ටපුරම් ප්‍රදේශයේදී උපත ලද මාවෛ සේනාධිරාසා මහතා මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ යාපනය නඩේශ්වරා විද්‍යාලයෙන්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති සේනාධිරාජා මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය සම්පූර්ණ කර තිබේ.

දෙමළ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට අනුබද්ධ තරුණ පෙරමුණ හරහා සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු 2001, 2004, 2010 හා 2015 මැතිවරණවලදී දෙමළ ජාතක සන්ධානය යටතේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් විය.

ඔහු 2014 වසරේ සිට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කර ඇත.

2024 වසරේ ජනවාරි මාසයේදී පක්ෂ නායකත්වයෙන් මාවෛ සේනාධිරාසා මහතා ඉවත් වුණේ අසනීප තත්ත්වයක් හේතුවෙනි.