විශේෂ මූල්‍ය සමත මණ්ඩල පිහිටුවීමට පියවර

මූල්‍ය ගැටලු විසඳීම වේගවත් කිරීමට විශේෂ මූල්‍ය සමත මණ්ඩල පිහිටුවීමට පියවර...

by Hashini De Mel 29-01-2025 | 8:11 AM

COLOMBO ( News 1st ) - විශේෂ මූල්‍ය සමත මණ්ඩල පිහිටුවීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ.

විෂය භාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ මූල්‍ය ආරවුල් අධිකරණ ක්‍රියාදාමයට යොමුවීමට පෙර විසඳා ගැනීම සඳහා එම පියවර ගන්නා බවයි.

පළමු අදියරේදී කොළඹ ,ගම්පහ, මහනුවර , අනුරාධපුර, පොළොන්නරුව හා මොණරාගල දිස්ත්‍රික්කවල විශේෂ මූල්‍ය සමත මණ්ඩල පිහිටුවනු ඇත.

අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් පත් කිරීමට පියවර ගන්නා බවයි.

මීට අමතරව විශේෂ ඉඩම් සමත මණ්ඩල ද දීපව්‍යාප්තව පිහිටුවීමට පියවර ගන්නා බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දැනට දිස්ත්‍රික්ක 16 එම විශේෂ ඉඩම් සමත මණ්ඩල පිහිටුවා ඇති බවයි.

ප්‍රජා මූල සමත මණ්ඩල සභිකයින්ට පුහුණුවීම් වැඩි කිරීමට ද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.

1988 වසරේ ඇතිකළ සමත මූල මණ්ඩල මේ වනවිට 329 ක් දිවයින පුරා ක්‍රියාත්මක වන අතර ඒවායේ  සේවය කරන සමතකවරුන් සංඛ්‍යාව 8,500කට අධිකයි.