COLOMBO (News 1st) - සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමේදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩිවැදී ඇත්තේ අනුදැනුමකින් තොරව නාවික හමුදා නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ප්‍රකාශ කළේ, මුලික පරීක්ෂණවලින් මේ කරුණු අනාවණය වූ බවයි.
පසුගිය සඳුදා රාත්‍රියේ විශාල යාත්‍රා ප්‍රමාණයක් කන්කසන්තුරේ ප්‍රදේශයෙන් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට ඇතුල්වන අයුරු නාවික හමුදාව නිරීක්ෂණය කර තිබේ.
පසුව නාවික හමුදා යාත්‍රා එම මුහුදු ප්‍රදේශයට යාත්‍රාකර අලෝක සංඥා දල්වා ඉන්දීය යාත්‍රා වෙත සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයෙන් ඉවත් වෙන ලෙස දැනුම් දුන් බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.
එම දැනුම්දීමට අනුව ඉන්දීය ධීවර යාත්‍රා ආපසු හරවා ගමන්කර ඇති අතර එක් යාත්‍රාවක් පමණක් තවදුරටත් ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළට ගමන් කර තිබේ.
එම අවස්ථාවේ එම යාත්‍රාව හඹා ගොස් තම නිලධාරීන් දෙදෙනෙකු ඊට ගොඩවු බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ(28) එරට සිටින වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කැඳවා ඔවුන්ගේ අප්‍රසාදය පළකර තිබුණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ජීවනෝපාය පිළිබඳව අවධානය යොමු කරමින් ධීවරයින්ට අදාළ ගැටලු මානුෂීය ලෙස සැලකීමේ අවශ්‍යතාවය ඉන්දීය රජය සැමවිටම අවධාරණය කර ඇති බවයි.
කුමන තත්ත්වයක් යටතේ වුවද බලය යෙදවීම පිළිගත නොහැකියි බව ද එම නිවේදනයේ සඳහන් කර තිබුණි.
කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබුණේ, මේ සම්බන්ධයෙන් ආණ්ඩු දෙක අතර පවතින අවබෝධය දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවයි.
මේ අතර නාවික හමුදාව පවසන්නේ, වෙඩි තැබීමේ සිද්ධිය අනුදැනුමකින් තොරව බවයි.
ධීවර අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් අද කරුණු පැහැදිලි කිරීමක් කළේ ය.