ශ්‍රී ලංකා - බ්‍රිතාන්‍ය වෙළෙඳ සබඳතා ගැන නිවේදනයක

සිදුවූ දේශපාලන වෙනස ශ්‍රී ලංකා - බ්‍රිතාන්‍ය වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට මනා පිටිවහලක් - බ්‍රිතාන්‍යයේ ආසියානු කටයුතු පිළිබඳ කොමසාරිස්

by Hashini De Mel 25-01-2025 | 6:54 AM

COLOMBO ( News 1st ) -  සිදුවූ දේශපාලන වෙනස ශ්‍රී ලංකා - බ්‍රිතාන්‍ය වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට මනා පිටිවහලක් වනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ආසියානු කටයුතු පිළිබඳ කොමසාරිස් හර්ජින්දර් කන්ග් මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමග පැවැති සාකච්ඡාවකදීයි.

දේශීය අගය එකතු කිරීම මගින් ඉහළ වටිනාකමක් ඇති මෙරට දේශීය නිෂ්පාදන බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහාත් එරට ආයෝජන ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහාත් මෙම අවස්ථාව වඩාත් ඵලදායි ලෙස යොදා ගත හැකි බව හර්ජින්දර් කන්ග් මහත ප්‍රකාශ කළේ ය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජනතාව ලබාදී ඇති පැහැදිලි ජනවරම මෙරට වසර ගණනාවක් පැවැති දූෂණ අක්‍රමිකතා තුරන් කිරීමට ලැබුණු එකක් බවයි.

එම ජනතා අපේක්ෂාවන් ඉටු කරමින් ජාත්‍යන්තරය පිළිගන්නා විදේශ ආයෝජන කෙරෙහි වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීමට රජය කැපවී සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.

සෑම රටක් සමගම සුහදව කටයුතු කරමින් ඔවුන් සමග ඇති ආයෝජන අවස්ථාවන් ව්‍යාප්ත කරලීම සඳහා රට තුල පෙර පැවැති බාධාවන් ඉවත් කිරීම වර්තමාන රජයේ අපේක්ෂාව බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එහිදි ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් මහතා ද එක්ව සිටියේ ය.