පළාත් සභා ඡන්දය අගෝස්තු මාසයේද?

පළාත් සභා මැතිවරණය අගෝස්තු මාසයේද? නීති සංශෝධන ගෙන ඒමට සැලසුම්

by Staff writer 24-01-2025 | 3:26 PM

COLOMBO (News1st) - පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නීති සංශෝධනය කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, 2016 අංක 17 දරණ පළාත් සභා පනතින් මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වූ බවයි.

එය ක්‍රියාත්මක කිරීම සඳහා සීමා නිර්ණය පිළිබඳ කොමිසමේ වාර්තාව සම්මත විය යුතු වුවත් එම වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

ඒ අනුව පවතින වාතාවරණය යටතේ පෙර පැවති ක්‍රමයට පළාත් සභා මැතිවරණය යළි පැවැත්වීම සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පැරණි ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු වන්නේ 1988 පළාත් සභා මැතිවරණ පනතේ විධි විධාන ප්‍රකාරවයි.

ඔහු සඳහන් කළේ, ඒ අනුව ඒ පිළිබඳව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව අගෝස්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය.