COLOMBO (News 1st) - නිසි තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව අඩු කිරීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය ඇතුළු කැබිනට් මණ්ඩලය සහ වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු 29 දෙනෙකු නම් කර ඇත.
නීතිඥ අනුරාධ සෙනරත් මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සම මගින් පසුගිය සැප්තැම්බර් 30 වෙනි දින සිය ආරක්ෂාවට සිටි නිලධාරීන් 60 දෙනකු පමණක් ඉතිරි කර සෙසු පිරිස ඉවත් කළ බව පෙන්වාදී තිබේ.
නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව ආරක්ෂාව අඩුකළ බවත් මේ වනවිට සිය ආරක්ෂාවට කිසිදු සන්නද්ධ හමුදා සාමාජිකයෙකු නොසිටින බවත් පොලිස් නිලධාරීන් පමණක් සිටින බවත් හිටපු ජනාධිපතිවරයාගේ පෙත්සමේ සඳහන් විය.
එහි දැක්වෙන්නේ, දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා නිරන්තරයෙන් ත්‍රරස්තවාදී තර්ජනවලට මුහුණ පා සිටින අයෙකු බැවින් මෙවන් තත්ත්වයක් තුළ තම ජීවිත ආරක්ෂාවට තර්ජනයක් එල්ලි වී ඇති බවයි.
එබැවින් පෙත්සම විභාගයට අවසර ලබාදෙමින් අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීමෙන් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉවත් කළ ආරක්ෂක සංචිතය යළි ලබාදෙන ලෙසත් නියෝග කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටි.
මහින්ද රාජපක්ෂ මහතා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, තමන්ට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි.