මනූෂ අපේක්ෂිත ඇපය ඉල්ලා අස්කරගනී

මනූෂ අධිකරණයට,කොරියානු වීසා ප්‍රශ්නයට අදාළ අත්අඩංගුවට ගැනීම වලක්වන ඉල්ලීම අස්කර ගනී..

by Staff writer 22-01-2025 | 9:39 PM

COLOMBO (News 1st) - කොරියානු වීසා සිදුවීමට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර  මහතා  ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ඉල්ලා අස්කරගනු ලැබුවේ ය.

ඒ එම ඇප පෙත්සම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා ඊයේ (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය 05 කට අධික කාලයක් ප්‍රකාශ ලබාදුන් බව කියා සිටියේ ය.

එම ප්‍රකාශවලින් අනාවරණය වූ කරුණු මත ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇති බැවින්  සිය සේවාදයකයාට මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ ය.

එබැවින් පෙ‍ත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුනි.