රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහාය

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහාය

by Staff writer 21-01-2025 | 10:50 PM

COLOMBO (News 1st) - රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා  මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර්  මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  හා ලෝක බැංකු නියෝජිතයන්  අතර අද (21) පැවති සාකච්ඡාවකදියි.

තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන , ක්ලීන් ශ්‍රී ලංකා , ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම  හා ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබා දීමට එහිදි එකඟතාව පළ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ,  අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ හා උතුරු සංවර්ධනය සඳහා වූ  නව ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි.

ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමත ණය ආධාර  නියමිත දිනට ලබා දීමට කටයුතු කරන බව ද,  මාර්ටින් රේසර් මහතා එහිදි දැනුම් දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන්  ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ හැකි බවයි. .

ඒ සඳහා නව රජය ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සහ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහා  අවශ්‍ය ආධාර ලබා දෙන්නැයි  ජනාධිපතිවරයා ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

2025 දී මෙරටට වැඩිපුර සංචාරකයින් ආකර්ෂණය කිරීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද එහිදි සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා පැවසුවේ ගුවන්තොටුපොළ හා වරාය සංවර්ධනය සඳහා නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් වරාය සංවර්ධනය කිරීම කඩිනමින් සිදු කරන බවයි.

උතුරු සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ,  උතුරේ ආයෝජන කලාප තුනක් ඇති කිරීමට කටයුතු කරන බවයි.

උතුරේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, ජල පහසුකම් ලබාදීම, උතුරේ ජනතාවගේ සමාජ ප්‍රශ්නවලට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා රැක ගනිමින් විසඳුම් සෙවීමට ද කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.