19න් පහළ බාලිකා T20 ලෝක කුසලානය ඇරඹේ..

19න් පහළ බාලිකා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹේ..

by Staff writer 18-01-2025 | 10:09 PM

COLOMBO (News1st) - වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද(18) මලයාසියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ විය.

මෙවර තරගාවලිය සඳහා එක්ව සිටින කණ්ඩායම් සංඛ්‍යාව 16කි.

ආරම්භක දිනයේදීම තරග 6ක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් ඊට වර්ෂාව හරස් විය.

එංගලන්තය සහ අයර්ලන්තය අතර තරගය අතරතුරදී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අවසන් කෙරුණේ තීරණයකින් තොරවයි.

වර්ෂාවේ බලපෑම සමග නයිජීරියාව සහ සමෝවා කණ්ඩායම් අතර තරගයත්, පකිස්ථානය සහ අමෙරිකාව අතර තරගයත් සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදුවිය.

මෙවර වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කළේ ප්‍රබල ඔස්ට්‍රේලියාවයි.

ඒ ස්කොට්ලන්තය සමග පැවැති තරගය කඩුළු 9කින් ජය ගනිමින් ය.

මේ අතර නේපාලය සමග පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් විය.

ප්‍රබල කණ්ඩායම් දෙකක් අතර අදට නියමිත අවසන් තරගය පැවැත්විය.

එහිදී දකුණු අප්‍රිකාව හමුවේ නවසීලන්තය පරාජය වූයේ ලකුණු 22කිනි.

මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයෙන් තරග වදියි.

එම කාණ්ඩයෙන් තරග කරන අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට(19) සත්කාරක මලයාසියාව සමග පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි MTV මාධ්‍ය ජාලයට අයත් TV1 නාලිකාවෙන් සහ www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.