සිව්දින චීන සංචාරය නිමකරමින් ජනපති දිවයිනට

සිව්දින චීන සංචාරය නිමකරමින් ජනපති දිවයිනට

by Staff writer 17-01-2025 | 10:24 PM

COLOMBO (News1st) - චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

ඒ, මෙරටට වැදගත් වන ආයෝජන ව්‍යාපෘති රැසක් සමග චීන සංචාරය සාර්ථකව අවසන් කරමිනි.

ජනාධිපතිවරයා, චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි මහතා අද (17) හමුවිය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ආර්ථික සංවර්ධනයේ පෙරමුණේ සිටින චීනයේ සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබඳතා මෙම හමුවීමත් සමග නව තලයකට පත්වනු ඇති බවයි.

ආර්ථික සංවර්ධනය අතින් පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාත් ලේකම්වරයාට ඇයුම් කර ඇත්තේ බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිචුවාන් පළාත ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගන්නා ලෙසයි.

මේ  වනවිට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, විනිවිදභාවයෙන් යුත් පාලනය තුළ ආයෝජන සඳහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත් ජනාධිපතිවරයා ඔහුට පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක්ව තුනෙන් දෙකක බලයක් ලබා දෙමින් වත්මන් රජය බලයට පත් කර ගත් අතර, එම ජන වරම තුළ ජනතාව තැබු අපේක්ෂා උපරිමයෙන් ඉටු කිරීමට රජය කැපවී සිටින බවයි.

චීන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි,  සිචුවාන් ජනතාවට ආරාධනා කළේ ය.