හිටපු ඇමති මනූෂගේ සහෝදරයාට ඇප..

රට රැකියා පෙන්නා මුදල් වංචා කළ හිටපු ඇමති මනූෂගේ සහෝදරයාට ඇප..

by Staff writer 17-01-2025 | 9:55 PM

COLOMBO (News1st) - ෆින්ලන්තයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තිසර නානායක්කාර මහතාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) ඇප නියම කර තිබේ.

ඒ, අද පෙරවරුවේ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරු තිසර නානායක්කාර මහතා පසුගිය 28 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචාවක් කිරීමේ චෝදනා මතයි.

ගම්පහ මහේස්ත‍්‍රාත් සිලනි පෙරේරා මහත්මිය හමුවේ ඊට අදාළ නඩුව අද(17) කැඳවනු ලැබුවාය.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදාහැරීමටයි.

තිසර නානායක්කාර මහතාට සහ ඇපකරුවන්ට, මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවාය.

බලපිටිය පොලීසියේ නිලධාරීන් අද(17) අධිකරණයට දැනුම් දුන්නේ, තිසර නානායක්කාර මහතාට එරෙහිව රුපියල් ලක්ෂ 05ක විදෙස් රැකියා වංචාවක් සම්බන්ධයෙන් තවත් නඩුවක් ගොනුකර ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යාමට අවසර දෙන්නැයි පොලීසිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

එහිදී ගම්පහ මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ, ආසන්නම දිනක සැකකරු අධිකරණයට ඉදිරිපත් කර පළමු නඩුවට අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කරන ලෙසයි.

ඒ අනුව තිසර නානායක්කාර මහතා යළි මහර බන්ධනාගාරයට රැගෙන ගියේ ය.