මහ වැස්සෙන් කුඹුරු යටවුණු ගොවීන්ගේ වේදනාව..

මහ වැස්සෙන් කුඹුරු යටවුණු ගොවීන්ගේ වේදනාව..

by Staff writer 16-01-2025 | 9:45 PM

COLOMBO (News 1st) -මැදිරිගිරිය, පඹුරාන, පල්ලියගොඩැල්ල, අහමඩ්පුර සහ අක්බාර්පුර ගම්මානවල කන්නයකට කුඹුරු අක්කර 4000 කට වඩා අස්වද්දනවා.

ඒත් උතුරු මැද පළාතට මහ වැස්ස නිසා කුඹුරු යටවෙලා , ගොවියො අසරණ වෙලා.

දැන්, මාස 2 ක පැළ ගොයම ඉවරෙටම ඉවරයි.

''මේ පළවෙනි පාර නෙවෙයි. 4 වෙනි පාර යටවෙලා තියෙන්නෙ.  මින්නේරි කවුඩුල්ල දෙකේම වාන් වතුර මෙහෙන් යවන්නෙ. මේක මේ උවමනාවට වැඩිය වතුර ප්‍රමාණයක් පුරවාගන්නව වැවේ. අක්කර අඩි අසූදාහක් තිබ්බා නං මේ වියාපාරෙට වතුර දෙන්න ඇති. ලක්ස ගාණක් පුරවගෙන එක පාරට පොඩි වැස්සකටත් අරිනවා වාන් දොරටු 12ම.  අඩිය ගානෙ ඇරපුවහම අපේ ගෙවල් හිටං මේ කුඹුරු ඔක්කොම විනාස වෙලා ගිහිල්ල තියෙන්නෙ දැං. මේ අපි ණය වෙලා රත්තරං බඩු උකස් තියලා...විකුණලා තමා මේ වැඩ කරන්නෙ. අපේ ජීවනෝපාය රක්සාව ගොවිතැන. මේක මේ නැති කරලා තියෙන්නෙ මේ 4 වෙනි පාරට වාන් ඇරලා. මේ වාන් දොරටු ඇරලා පොඩ්ඩක් වතුර ප්‍රමාණෙ අඩු කරගන්න පුළුවන් විදියක් තිබිලත් මේක අඩු කරන්නෑ. එකපාරට වතුර පුරවගෙන ඇරල දානව. අපි විනාස වෙලා යන්නෙ''

ඔහු ඒ කතාව කිව්වෙ ගම්මැද්ද පොළොන්නරු කණ්ඩායම ගෙයින් ගෙට යමින් ජනතාව හමු වෙද්දී.

මුලතිව් කණ්ඩායම කයාඩිකුලම් ගම්මානයට ගියේ වැසි කලෙට මඩ වගුරක් බවට පත්වෙන පාරෙන්.

ලොකු සටනක් දීලා ජීවිතේ ගැටගහගන්න ගම්මු.

නගරෙට  යන‍ එකත් ගොවිතැන් කරනවා වගේම අමාරුයි.

සමහර පැතිවල ගෙයින් ගෙට යන්නෙ, කැඩුණු පාරවල් වලින් පැනගෙන.

හම්බන්තොට සිරිබෝපුර ගම්මානවල පාරවලුත් එහෙමයි.  

අමරදේවගමට, සඳමුතුගමට, සොමිසෙතගමට, ඛංචදේවගමට යන පාර 
විනාශ වෙලා.

ගම්වැසියො කිව්වෙ, මේ පාරවත්, මේ පාරවල් ටික හැදුවොත් ලොකු දෙයක් කියලයි

කෑගල්ල , නාගස්තැන්නේ ඉඳලා නාවලපිටිය දක්වා යන පාරත්, බලධාරීන්ගේ ඇස ගැටිලා නෑ.

කිලෝ මීටර් 4 කට වැඩිය ප්‍රමාණයක් පාර කැඩිලා.

අවුරුදු 50 ක් තිස්සෙ මේ පාර මෙහෙමයි.

මගී ප්‍රවාහන බස් රථ, මගින් හරවනවා.