සිසුන් වගේම පාසලකට මූලික පහසුකම් ටිකත් අත්‍යවශ්‍යයි.
එහෙම පහසුකම් නැති පාසල් බොහොමයක, පුංචි දරු පැටවු හරි අමාරුවෙන් ඉගෙන ගන්නවා.
හිඟුරක්ගොඩ, ගල්ඔය හංදිය කනිෂ්ඨ විද්‍යාලය.
හීන දකින පුංචි දරුවො මේ පාසලේ ඉගෙන ගන්නේ ළඟම පාසල පාසල හොඳම පාසල නිසයි.
හැබැයි තිබහට බොන්න වතුර ටිකක් නැහැ.
දැනුම් පිපාසයටත් විසඳුමක් නැතුව මේ දරුවො අසරණ වෙනවා.
නැටුම් ඉගෙන ගන්න ආස ළමයින්ට, පුහුණු වෙන්න තැනක් නැහැ.
තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට යන්න ආසයි, ඒත් ඒකට පහසුකම් නෑ.
ගාමිණි සරත් කුමාර - විදුහල්පති
හිඟුරක්ගොඩ ගල්ඔය හංදිය කණිෂ්ඨ විද්‍යාලය
''මේක දුෂ්කර පාසලක් . ගුරුවරු 13 දෙනෙක් මේ පාසලේ අධ්‍යයන කටයුතු කරනවා. මේ පාසලට මම එනකොටත් තිබුන ලොකුම ප්රශ්නය තමයි මේ දරුවන්ට පානය කරන්න පිරිසිදු ජලය නොමැති කම. නැටුම් සහ තොරතුරු තාක්ෂනය හදාරන්න පන්ති කාමර නැහැ මේ දරුවන්ට . මිදුල තමයි ඒවට අපි පාවිච්චි කරන්නේ''
මේ දරුවො ටික හමුවුණේ ගම්මැද්ද පොළොන්නරු කණ්ඩායම ගෙයින් ගෙට යමින් ජනතාව හමු වෙද්දි.
ගම්මැද්ද කණ්ඩායම මුලතිව් , ඔඩ්ඩුසුඩාන් , මුට්ටයන්කට්ටුකුලම් වගේම ජීවනගර් ගම්මානවලදීත් ගෙයින් ගෙට ගිහින් ජනතාව හමුවුණා.
පවුල් 214 ක් විතර ජීවත් වන මේ ගම්මානේ මිනිස්සුන්ටත් පානීය ජල ප්රශ්නය තමයි විසඳගන්න බැරි වෙලා තියෙන්නෙ.
ගමම පාවිච්චි කරන්නේ පොදු ළිඳක්.
ඒකටත් ගමන් මහන්සිය නොබලා හුඟාක් දුර ඇවිදගෙන යන්න වෙනවා.
කාපට් පාරක් තිබුණට බස් නැතුව ඒ පාරේ පයින් යන මිනිස්සු ඉන්න ගමක් හම්බ වුණේ හම්බන්තොට කටුවනදී.
දංගලකන්ද පාර, කාපට් දාලා හදලා තිබුනට පොදු ප්‍රවාහන පහසුකම් නැහැ.
දවසෙ කටයුතු හැම දේටම ගම්මු නගරයට යන්නේ එන්නේ කකුල්
දෙකට පිං සිද්ධ වෙන්න.
මේ ප්‍රශ්නවලට කවදා විසඳුම් ලැබේද ?
ගම්මැද්ද කණ්ඩායම් ඔවුන්ට ඇහුම්කන් දුන්නා.
කෑගල්ලෙ වරකාපොල ශාන්තිපුර ලැයින් කාමරවලින් ඇහෙන දුක්ඛිත කතාව ගෙයින් ගෙට යද්දි හොඳින් දැනුණා.
පවුල් 16 ක්.
රබර් වතුවල හැමදාම වැඩ කලොත් විතරයි කීයන් හරි හොයාගන්න පුළුවන් වෙන්නෙ.
නැත්නම් කුලී වැඩ කරලා හරි, දර කොටන් ඇදලා හරි තමයි දවස ගත කරගන්න ආදායම හොයාගන්නේ.
ජීවත් වුණාට, මේ තැන් වල කිසිම අයිතියක් ඔවුන්ට නැහැ.
පේරාදෙණි සරසවි විද්‍යාර්ථීන්ගේ විද්‍යුත් සටහන් අතරට ඒ සියල්ල ඇතුළත් වුණා.
මිනිසුන් හමුවුණ, සැඟවුණු බොහෝ දේ මතුවුණ, ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ දවස් අටක් අවසන්.
හෙටත් ඔවුන් සූදානම් !