බලශක්ති ඇමති ත්‍රිකුණාමල වරායේ නිරීක්ෂණයක

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරනවා - බලශක්ති ඇමති

by Staff writer 15-01-2025 | 3:00 PM

COLOMBO (News1st) - බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද(15) ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි පරිශ්‍රය අයත් වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, Trinco Petroleum Terminal Ltd ආයතනය හා ලංකා IOC ආයතන මෙහිදී නිරීක්ෂණයට ලක්විය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J.A.S. De S. රාජකරුණා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් (විශ්‍රාමික) සිරිමෙවන් රණසිංහ ඇතුළු ඉහළ නිලධාරීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

මෙහිදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කියා සිටියේ, නව රජයේ බල ශක්ති ප්‍රතිපත්තියට හා වැඩපිළිවෙළට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරන බවයි.

ඒ සඳහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරන අතර  ඒ සඳහාම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ඒ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොඳ තත්ත්වයේ තිබෙන අතර අවශ්‍යය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කර නල පද්ධතිය ඉදි කරලා නෞකාවලට තෙල් සපයන්නත් ගබඩා සංකීර්ණයක් හැටියට සංවර්ධනය කරලා ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයත් එක්ක එකතු වී සමගාමීව සිදුකරන වරාය සංවර්ධනයත් හරහා ඒ ප්‍රතිඵල රටට ලබාදෙන්න කටයුතු කරන බවයි.

මෙම නිරීක්ෂණ චාරිකාව හා එක් වූ සිවිල් ගුවන්සේවා හා වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් ජනිත කොඩිතුවක්කු මහතා අදහස් පළකරමින් කියා සිටියේ, ලෝකයේ පස්වෙනි විශාලම ස්වභාවික වරාය හැටියට සැළකෙන ත්‍රිකුණාමල වරාය ජාතික ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස භාවිත කරන සැලැස්ම හඳුනගන්න අපි අමාත්‍යාංශ දෙකම එක්ව කටයුතු කරන බවයි.

ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ මෙහෙයුමේදී තෙල් වෙළෙඳපොළට ඇතුළත්වීම මේ තෙල් ටැංකි හරහා සැකසෙන ව්‍යාපෘතියට අනුකූලව වරාය සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්නත් ඉදිරි මාස කීපය තුළ මේ සම්බන්ධව ජාතික සැලැස්ම ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.