ඒ, ඔහුට ප්‍රතිකාර කළ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මතයි.
බන්ධනාගාර රෝහලේ සිට දුමින්ද සිල්වා යළි වැලිකඩ බන්ධනාගාරයට යොමු කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයා විමසීමක් කර තිබේ.
එහිදී බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුව ඇති බවයි.
ඒ පිළිබඳ නිර්දේශ, 15 වැනි බදාදා ලබාදෙන බව , ප්‍රධාන වෛද්‍ය නිලධාරී, බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දී තිබේ.
මෙම සිරකරුට තවදුරටත් ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත විමසීමක් කර තිබිණි.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ ය.
එම කමිටුව නිර්දේශ කර තිබුණේ, දුමින්ද සිල්වාට, බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක තවදුරටත් නේවාසික ප්‍රතිකාර දීම අනවශ්‍ය බවයි.
හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් පමණක්, නොපමාව ප්‍රතිකාර ලබාදෙන්නැයි එම කමිටුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ රැඳවියා, පසුගිය 10 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා තැබූ බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එහෙත්, හදිසියේ ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් පසුගිය 11 වැනිදා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ මතයි.
ඒ අනුව ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් වීමෙන් පසු, ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට මාරු කර යවා තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනිද්දා ලබාදෙන වෛද්‍ය නිර්දේශ මත, ඔහු බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක රඳවා තැබීම සම්බන්ධයෙන් තීරණය කරන බවයි.